විෂ රසායනික යෙදූ පලතුරු අලෙවි කරන වෙෙළඳුන්ට එරෙහිව 2027 අප්‍රේල් මාසයෙන් පසුව නීතිය ක්‍රියත්මක කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ ලෝක ළමා දිනයට සමගාමීව ‘වස විසෙන් තොර පලතුරු දරුවන්ට’ යන තේමාව යටතේ විශේෂ ජාතික වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කිරීම නිමිත්තෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
අහිතකර රසායනික ද්‍රව්‍ය හා නිවැරදි නොවන ක්‍රමවේද යොදාගනිමින් කෘත්‍රිම ලෙස පලතුරු ඉදවීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සහ දරුවන්ට සිදුවන දැඩි බලපෑම වැළැක්වීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා අනෙකුත් ආයතන එක්ව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැනුම්වත් කෙරිණි.
මේ යටතේ ඉදිරි මාස හය ඇතුළත ගොවීන්, නිෂ්පාදකයන්, සුළු හා තොග වෙළෙන්දන් ඇතුළු සියලු දෙනා විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.
එළඹෙන මාර්තු මාසය වන විට වෙෙළඳසල් ඉදිරිපිට ‘වසෙන් තොර පලතුරු විකුණන වෙෙළඳසලක්‘ ලෙස පාරිභෝගික සේවා අධිකාරිය මඟින් නිකුත් කරන නිල සහතිකය සහිතව පලතුරු අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසා දීමට නියමිතය.
ඒ අනුව එම සහතික ලත් ස්ථානවලින් සුරක්ෂිත පලතුරු මිලදී ගැනීමට මහජනතාවට හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පසු අස්වනු තාක්ෂණ ආයතනය, හොරණ කනන්විල පලතුරු පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ආහාර පාලන පරිපාලන ඒකකය ඇතුළු රාජ්‍ය ආයතනවල නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.
අස්වනු තාක්ෂණ ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය, වෛද්‍යවරු, ආහාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) ඇතුළු ආයතන එක්ව අස්වැන්න නෙළීමේ සිට පාරිභෝගිකයා වෙත ලැබෙන තෙක් සියලු පාර්ශ්ව දැනුවත් කරති.