ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට තමන් “අනුර” ලෙස ආමන්ත්රණය කරන්නේ අපහාස කිරීමේ අරමුණින් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ප්රසද් සිරිවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ දේශපාලකයන්ට ගරු නොකළ යුතු බවට සමාජයට අදහසක් ගෙන ආවේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස බවත්, එම නිසා ජනාධිපතිවරයාට “අනුර” ලෙස ආමන්ත්රණය කිරීම ඔහු ඉල්ලූ දේශපාලන සංස්කෘතියම පෙන්වා දීමක් බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්රසද් සිරිවර්ධන මහතා මෙලෙස පැවසීය.
“සමහර අය මට බැනලත් දානවා, මම ජනාධිපතිවරයාට ගරු කරලා කතා කරන්නේ නැහැ කියලා. ‘අනුර’ කියලා කතා කරනවා. මේ ගැනත් මට කියන්න හිතුණා.”
“කිසිම කතාවක මම ‘අනුර’ට, අනුරගේ ශරීර ලක්ෂණයකට අපහාස කරන්නේ නැහැ. අනුරගේ ෂර්ට් එකට, යටින් තියෙන දේවල්වලට මම අපහාස කරන්නේ නැහැ. අනුරට අනවර්ථ නාම දාන්නේ නැහැ. අනුරගේ අම්මා, තාත්තාට බනින්නේ නැහැ. අනුරගේ පෞද්ගලික ජීවිතයේ වචනයක් අද වෙනකම් මම කියලා නැහැ. හේතුව මට ඒවා වැඩක් නැහැ.”
“හැබැයි අනුර, මේ රටේ හැම මිනිහෙකුටම ඔය කියපු හැම විදියකටම අපහාස කළා. ඒ නිසා අනුරට වඩා වැදගත් විදියට අදහස් ප්රකාශ කිරීම අතින් මම ඉස්සරහින් ඉන්නවා කියලා විශ්වාස කරනවා.”
“එහෙනම් ඇයි මම අනුරට ‘අනුර’ කියලා කියන්නේ?” යනුවෙන් ප්රශ්න කරමින් ඔහු සඳහන් කළේ,
“ඒ තමයි අනුර ඉල්ලපු දේ. ඒක අපහාසයක් නෙවෙයි. රටේ සියලුම ආයතන, සියලුම දේශපාලකයන්ට මේ රටේ මිනිස්සු ගරු කළා. උදාහරණයකට කිව්වොත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, අපි කතා කරනකොට ‘මැතිතුමා’ කියලා කියනවා. ජේ.ආර්. මැතිතුමා – මේ අනුර. ප්රේමදාස මැතිතුමා – මේ අනුර. චන්ද්රිකා මැතිනිය – මේ අනුර. සිරිමාවෝ මැතිනිය – මේ අනුර. මහින්ද මැතිතුමා – මේ අනුර. මෛත්රීපාල මැතිතුමා – මේ අනුර. ගෝඨාභය මැතිතුමා – මේ අනුර. රනිල් වික්රමසිංහ මැතිතුමා – මේ අනුර.”
“ඇයි?” යනුවෙන් ප්රශ්න කළ මන්ත්රීවරයා තවදුරටත් සඳහන් කළේ,
“අනුරලා තමයි කිව්වේ දේශපාලකයන්ට ගරු කරන්න එපා කියලා. දේශපාලකයන්ට ගරු කරන්න එපා කියන අදහස සමාජයට දැම්මේ අනුර නම්, අනුරටයි අපි ගරු කරන්න ඕනේ. වෙන කිසිම නායකයෙක් දේශපාලකයන්ට ගරු කරන්න එපා කියලා කිව්වේ නැහැ.”
ඔහු වැඩිදුරටත් පැවසුවේ දේශපාලනය ගෞරවනීය තනතුරක් බවත්, එය තේරුම් ගැනීමට ජනාධිපතිවරයාට “අනුර” ලෙස ආමන්ත්රණය කිරීම අවශ්ය බවත්ය.
“දේශපාලනය කියන්නේ ගරු තනතුරක්. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්න නම් අනුරට ‘අනුර’ කියලා කියන්න ඕනේ.”
“අනුරගෙන් පස්සේ එන ජනාධිපතිවරයාට යළි අපි ‘මැතිතුමා’ කියලා කතා කරන්න ඕනේ. හේතුව, මේක වැදගත් තනතුරක්.”
ප්රසද් සිරිවර්ධන මහතා චෝදනා කළේ දේශපාලකයන්ට තිබූ ගෞරවය විනාශ කිරීමේ ක්රියාවලියක් අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ බවයි.
“අනුර දිගින් දිගටම දේශපාලකයන්ට තියෙන ගෞරවය විනාශ කළා. අඩුම තරමේ ගෞරවයක්වත් දෙන්න එපා කිව්වා. සාමාන්ය මිනිස්සුන්ට දෙන දේවල් තිබුණම ඇති කිව්වා.”
තමන් ජවිපෙ සාමාජිකයෙකු නොවන බැවින් “අනුර සහෝදරයා” ලෙස ආමන්ත්රණය නොකරන බවද ඔහු පැවසීය.
“JVP එකේ මිනිස්සු අනුරට කතා කරනවා ‘අනුර සහෝදරයා’. මම JVP නෙමෙයි, සහෝදරයා අයින් කරලා ‘අනුර’ කියනවා. අපහාසයට නෙමෙයි. මම JVP වුණා නම් ‘අනුර සහෝදරයා’, JVP නෙමෙයිනේ, ඒ නිසා ‘අනුර’. අපහාසයට නෙමෙයි.”
“දිගටම අනුර ජනාධිපතිවරයා වශයෙන් ඉන්නකම් මට නම් ‘අනුර’ තමයි” යනුවෙන්ද ප්රසද් සිරිවර්ධන මහතා පැවසීය.
ඔහු අවධාරණය කළේ දේශපාලකයන්ට ගරු කිරීම සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය වෙනස් නොවන බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලනයට සිදු කළ බව කියන බලපෑම පිළිබඳව ජනතාවට දිගින් දිගටම කරුණු පැහැදිලි කළ යුතු බවත්ය.
අවසානයේ ඔහු සඳහන් කළේ,
“අනුර මේ රටේ දේශපාලනයට කරපු විනාශය දිගින් දිගටම මේ රටේ මිනිස්සුන්ට කියලා දුන්නේ නැත්නම් ආයේ කිසිම අවස්ථාවක මේ රටේ දේශපාලනයට මිනිස්සු එන්නේ නැහැ.”