ඖෂධ පරිත්‍යාග ඉල්ලා කිසිදු දැන්වීමක් පල කරේ නැ – මහරගම අපේක්ෂා රෝහල දැනුම් දෙයි

මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස කිසිදු මහජන ආයාචනයක්, දැන්වීමක්, නිවේදනයක් හෝ ඉල්ලීමක් සිදුකර නොමැති බව රෝහල් පාලනාධිකාරිය නිවේදනය කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ NCISL ආයතනය විසින් සිය නිල වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය හෝ වෙනත් කිසිදු පොදු වේදිකාවක් හරහා එවැනි දැන්වීමක් පළ කර නොමැති බවයි.

කෙසේ වෙතත්, රෝගී සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ, උපකරණ, පරිභෝජන ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කරන පුද්ගලයන්ට සහ සංවිධානවලට එවැනි පරිත්‍යාග සිදුකිරීමට අවස්ථාව පවතින බවද එහි සඳහන්.

එවැනි අවස්ථාවකදී පරිත්‍යාගශීලියාගේ ඉල්ලීමේ ස්වභාවය අනුව, පරිත්‍යාග පිළිගැනීම සඳහා අවශ්‍ය පිරිවිතර, නියාමන අවශ්‍යතා සහ අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි පිළිබඳව රෝහල විසින් අදාළ පරිත්‍යාගශීලියාට මගපෙන්වීම ලබාදෙන බවද නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව, එවැනි විමසීම්වලට ප්‍රතිචාර වශයෙන් පරිත්‍යාගශීලියෙකුට ලබාදෙන තොරතුරු, NCISL විසින් පරිත්‍යාග සඳහා සිදුකරන ලද මහජන ඉල්ලීමක් හෝ ආයාචනයක් ලෙස නොසැලකිය යුතු බවද වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *