‘සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය අද (7) නියෝග කළේය.
අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදුවූ බව කියන අක්රමිකතාවක් පිළිබඳව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගියදා යළි විමර්ශන ආරම්භ කළේය.
ඒ අනුව ඊට අදාළව ප්රකාශයක් සටහන් කරගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට සැප්තැම්බර් 24 පැමිණෙන්නැයි දැනුම්දුන්නද, ඇය ඒවනවිට සිටියේ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින්ය.
එම ප්රතිකාර අවසන් වූ පසු ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටව ගියාය.
අනතුරුව ඇය ඔක්තෝබර් 6 වැනිදා අලුයම මෙරටට පැමිණි අතර, ඇයට ඔක්තෝබර් 13 වැනිදා පොලිස් මූල්ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි එම කොට්ඨාසය දැනුම් දුන්නේය.
එවන් පසුබිමක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරන තවත් විමර්ශනයක් සඳහා ප්රකාශයක් ලබාගැනීමට අද උදෑසනම ශිරන්ති රාජපක්ෂ මහත්මිය පදිංචි කිරුළපන, පූර්වාරාම මාවතේ පිහිටි නිවස වෙත පැමිණියේය.
පෙ.ව. 8ට පමණ අදාළ ප්රකාශය සටහන් කිරීම ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද නිවස තුළ සිටියේය.
පැය දෙකකට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ, විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව විමර්ශන නිලධාරීන් ඇයව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත රැගෙන ආවේය.
මේ අතර සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති, හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ප්රදීප් කාරියවසම් මහතා ද අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් කොමිසමේදී පැය 6කට ආසන්න කාලයක් ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර ශිරන්ති රාජපක්ෂ සහ ප්රදීප් කාරියවසම් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කළහ.
එම අවස්ථාවේදී හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියද අධිකරණයට පැමිණියේය.
සැකකාර ප්රදීප් කාරියවසම් සහ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් පැවසුවේ,
‘කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්රයක් ලබාගැනීමට යැයි පවසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තිබූ රුපියල් මිලියන 10ක රජයේ මුදල් නිසි ක්රමවේදයෙන් බැහැරව ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත ලබාදීම සහ එම මුදල සාපරාධි සාවද්ය පරිහරණය කිරීම’ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවය.
අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්යක්ෂ නීතිඥ යෂ්මදා ලොකුනාරංගොඩ මහත්මිය අධිකරණයේ පෙනී සිටියේය.
“ස්වාමිනි, 2015 වසරේ දූෂණ විරෝධී පෙරමුණ ගොනුකළ ලිඛිත පැමිණිල්ලකට අදාළවයි මේ විමර්ශනය ආරම්භ කළේ. ඒ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ‘සිරිලිය සවිය’ නැමැති ගිණුමේ මූල්ය අක්රමිකතා සම්බන්ධයෙන්.
පසුව ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමග ඒකාබද්ධ විමර්ශනයක් කළා.
එහිදී හෙළිවුණා 2010 වසරේ සැකකාර ශිරන්ති රාජපක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ ගිණුමට බැරකර ඇති බව.
එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා මේ පළමු සැකකාර ප්රදීප් කාරියවසම්. එම බැංකුවේ එවකට අධ්යක්ෂ මණ්ඩලයේ සිටි සාමාජිකයන් පවසා තිබෙනවා මේ මුදල් බැරකිරීම සාමාන්ය ක්රමවේදයෙන් පරිබාහිරව සිදුවුණා කියලා.
ඒ අනුව ප්රදීප් කාරියවසම් අල්ලස් පනතේ 70 වගන්තිය යටතට වැටෙන දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත්, දෙවන සැකකාර ශිරන්ති රාජපක්ෂ ඊට ආධාර අනුබල දීම සහ එම මුදල සිය පෞද්ගලික පරිහරණයට යොදාගැනීම තුළ පොදු දේපළ පනත යටතේ වැටෙන වරදත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
ඒ වගේම ස්වාමිනි මේ ‘සිරිලිය සවිය’ ගිණුමට බැරවෙලා තියෙන්නේ මේ කියන මිලියන 10 පමණක් නොවේ. දැනට අනාවරණය වී තිබෙනවා එවක විදේශ කටයුතු අමාත්යාංශයෙන් ලක්ෂ 88ක් සහ හුවාවි කියන සමාගමෙන් මිලියන 22ක් මේ සිරිලිය සවිය ගිණුමට බැරකර ඇති බව.
ඒ වගේම අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේත් දැන් විමර්ශන සිදුකෙරෙනවා. එම විමර්ශනයේදී දැනට අනාවරණ වී තිබෙනවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සිට ලද මේ ප්රශ්නගත මුදලින් ටොරින්ටන් ප්රදේශයේ නිවසක් මිලදීගෙන ඇති බව.
එබැවින් ස්වාමිනි මේ දෙවන සැකකාරියට විරුද්ධව පොදු දේපල පනතේ 8 (1) ප්රකාරව සහතිකයක් ඉදිරිපත්කර ඇති බැවින් ඇය නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අප ඉල්ලා සිටිනවා”.
Source – Ada Derana