වරදකට සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්රියාමාර්ග සම්බන්ධයෙන් අද (09) ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ තීරණ ඇතුළත් ලිපියක්, මල්වතු මහා විහාරයේ නියෝජ්ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල හිමියන් අත්සන් කර නිකුත් කර තිබේ. ත්රෛනිකායික මහානායක හිමිවරුන්ගේ නියෝජිත මහාසංඝරත්නය ජනාධිපතිවරයා හමුවී මෙම සාකච්ඡාව පැවැත්වූ බව ලිපියේ සඳහන් වේ.
ලිපියට අනුව, මහානායක හිමිවරුන් විසින් ඔක්තෝබර් 7 වැනිදා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කරුණු ඉතා සාධාරණ බව ජනාධිපතිවරයා පිළිගෙන ඇත. එවැනි කරුණු හේතුවෙන් ශාසනික වශයෙන් මතුවිය හැකි ගැටලු තමා පිළිගන්නා බවත්, මහජනතාව වැඳුම් පිදුම් කරන භික්ෂුවක් වෙනත් ස්වරූපයකින් දැකීම හැමදෙනාගේම සිත් තුළ කණගාටුවක් ඇතිකිරීමට හේතුවන බවත් ඔහු පැවසූ බව වාර්තා වේ.
එහෙත් පවතින නෛතික රාමුව තුළ, බරපතල වැඩ සහිතව වසර 3කට වැඩි කාලයක් සිරගත කිරීමට නියම කළ භික්ෂුවක් සිවුරු සහිතව බන්ධනාගාරයෙන් පිටතට ගෙන යා නොහැකි බවත්, බන්ධනාගාර නියෝග යටතේ එවැනි පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත. ඒ අනුව, එම නීතිය සංශෝධනය කර මෙවැනි තත්ත්වයක් යළි ඇතිවීමට ඉඩ නොතබන පරිදි කඩිනමින් කමිටුවක් පත්කරන බව ඔහු සඳහන් කර තිබේ.
අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්රයන් වහන්සේලා මෙහිදී පැහැදිලි කර ඇත්තේ, මෙවැනි ගැටලුවක් භික්ෂූන් සම්බන්ධයෙන් පවතින බව නිරීක්ෂණය වූයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිද්ධිය හේතුකරගෙන බවත්, එතෙක් එවැනි සංවාදයක් ඇතිවී නොතිබුණු බවත්ය. විශේෂයෙන් වසර 40කට අධික කාලයක් සිවුරු දරාගෙන සමාජයේ විවිධ ගැටලු පිළිබඳ කතාකළ භික්ෂුවක් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් උදාවීම සාමූහික වශයෙන් ඉතා සංවේදී කරුණක් බව මහානායක හිමිවරුන් සමස්ත මහාසංඝරත්නය කේන්ද්ර කරගෙන මතු කළ බව ද ලිපියේ සඳහන් වේ.
මහානායක හිමිවරුන්ගේ යෝජනාවට අනුව, අධිකරණයෙන් වරදකරු කර වසර 3කට වැඩි කාලයක් සිරගත කරන භික්ෂුවක් අයත් නිකාය/පාර්ශ්වයට ඒ බව දන්වා, එම නිකායේ නිර්දේශ මත භික්ෂුව සිවුරු සහිතව බන්ධනාගාරයෙන් පිටතට ගෙන යාමට අදාළ රෙගුලාසියක් කඩිනමින් සකස් කර ක්රියාත්මක කළ යුතුය. නිකායේ නිර්දේශ මත සිදුකෙරෙන බැවින් කිසිවෙකුට එම සහනය අවභාවිත කළ නොහැකි බව ද මහාසංඝරත්නය අවධාරණය කර ඇත.
එය ඉතා සුදුසු යෝජනාවක් බවත්, ඒ අනුව කටයුතු කිරීමේදී සංඝ සභාවට මැදිහත් වීමට විධිමත් අවස්ථාවක් ලැබෙන බවත්, කිසිවෙකුට සහනය අවභාවිත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා පවසා ඇත. රෙගුලාසි සකස් කිරීම සඳහා කඩිනමින් අවශ්ය කටයුතු සිදුකරන ලෙස අධිකරණ අමාත්යවරයාට උපදෙස් දුන් අතර, සති දෙකක් තුළ එම කටයුතු අවසන් කර ඒ අනුව ක්රියා කරන බව ද මහාසංඝරත්නයට ප්රකාශ කර තිබේ. ශාසනික වශයෙන් සංවේදී මෙම ගැටලුව කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත මහාසංඝරත්නයේ පුණ්යානුමෝදනාව ද ලිපියෙන් පළ කර ඇත.