
හිටපු නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ ‘Royal Navy Young Officers Course’ පාඨමාලාවට සහභාගි වීම සඳහා රජයේ මුදලින් පවුම් 24,536ක් ගෙවා ඇති බව හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතා වෙනුවෙන් කොළඹ මහාධිකරණය ඉදිරියේ නාවික හමුදාවේ නියෝජිතයකු සාක්ෂි දෙමින් ඊයේ (15) කියා සිටියේය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා 2014 වසරේ මැයි 19දා රාජ්ය ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට යොමුකළ ලිපියක් අනුව විත්තිකරුට එම පාඨමාලාවට සහභාගි වීමට අවශ්ය මුදල් ගෙවීමට අවසර ඉල්ලා ඇති බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.
විදේශ පාඨමාලා සඳහා යොමු කරන නාවික හමුදාවේ නිලධාරීන්ට ගෙවීම් කරන්නේ ඩොලර් හෝ පවුම් වැනි විදේශ විනිමයවලින් බව සාක්ෂිකරු විත්තියේ හරස් ප්රශ්නයකට පිළිතුරු ලෙස පැවසීය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ මේ බව අනාවරණය විය.
2012 වසරේ අගෝස්තු මස 01දා සහ 2013 වසරේ අගෝස්තු 29දා අතර කාලය තුළදී රාජගිරියේදී සහ බම්බලපිටියේදී රුපියල් මිලියන 735කට ආසන්න මුදලක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි වීමේ චෝදනාව යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
නීතිවිරෝධි ක්රියාකාරකමකින් හෝ ක්රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්ර ලෙස උපයාගත් මුදල් බව දැන දැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. මෙහිදී පැමිණිල්ලේ මෙහෙයවීම යටතේ නාවික හමුදාවේ වැටුප් සහ දීමනා සකස් කිරීමේ නිලධාරී කපිතාන් නුවන් තුෂාර අරන්ගල මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ විත්තිකරු නාවික හමුදාවේ සේවය කළ වසර 9කට අදාළව වැටුප් හා දීමනා ලෙස රුපියල් 5,159,626.37ක් ගෙවා ඇති බවය.
විත්තිකරු නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස 2006 වසරේ දෙසැම්බර් 14දා සිට 2017 වසරේ පෙබරවාරි 28දා දක්වා සේවය කර ඇති බවත්, 2016 වසරේ පෙබරවාරි 28දා ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවත් ප්රකාශ විය.
විත්තිකරුගේ මාසික දළ වැටුප රුපියල් 16,390ක් බවත් එම වැටුපට අමතරව දීමනා ඇතුළත් වූ බවත් ප්රකාශ විය. චුදිත දළ වැටුපට අමතරව ආහාර සහ නිල ඇඳුම්, ගෙවල් කුලී සහ විශේෂ රාජකාරී දීමනා ලෙස තවත් දීමනා ලබාගෙන ඇති බව විත්තියේ හරස් ප්රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසීය.
එම දීමනාවලට විදේශ පාඨමාලාවන්ට සහභාගි වීම සඳහා හා රග්බි තරග ආදී වෙනත් වැඩසටහන්වලට නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගි වීම උදෙසා ගෙවන ලද දීමනා අයත් නොවූ බව සාක්ෂිකරු කියා සිටියේය.
යෝෂිත නාවික හමුදාව නම්කළ පාඨමාලාවකට සහභාගි වීම සඳහා විදේශගත වූ බව දන්නා නමුත් ඔහු එහිදී නාවික හමුදාව නියෝජනය කරමින් තරගවලට සහභාගි වූ බව නොදන්නා බව විත්තිය විමසන ලද ප්රශ්නයකට උත්තර දෙමින් සාක්ෂිකරු කීවේය.
අනතුරුව පැමිණිල්ල, නාවික හමුදාවේ කොමදෝරු දේවින්ද උදයකුමාර මුණසිංහ මහතා මඟින් චුදිත නාවික හමුදාවේ සේවය කළ 2009-2015 කාලයට අදාළව වාර්ෂිකව ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් වාර්තා නඩුවට ඉදිරිපත් කෙරිණි. නාවික හමුදා නිලධාරීන්ගේ වත්කම් වාර්තා භාර නිලධාරියා වූ ඔහු සාක්ෂි දෙමින් නිලධාරීන් සෑම වසරකම මාර්තු 31දාට වත්කම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව කියා සිටියේය. එම වාර්තා මුද්රණය කරන ලද ලිපිගොනුවක් මඟින් ඉදිරිපත් කරන බැවින් එහි ඇතුළත් දේවල් තමන් නොදන්නා බව කියා සිටියේය.
චුදිත යෝෂිත රාජපක්ෂ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මූලස්ථාන ශාඛාවේ ස්ථාවර තැන්පතුවක් සහ සාමාන්ය තැන්පතුවක් ලෙස ගිණුම් දෙකක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, ඔහු එම ගිණුම් ආරම්භ කළ දින සිට මේ දක්වා කිසිදු මුදලක් ආපසු ගෙන නැති බව එම බැංකුවේ කළමනාකරු වන කණිෂ්ක ගාමිණී යන අය සාක්ෂි දෙමින් ප්රකාශ කළේය. ඔහු 2003 වසරේ නොවැම්බර් 16 දා රුපියල් 72,470.03ක් තැන්පත් කර ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළ බවත්, එම ගිණුමෙන් කිසිදු මුදලක් ආපසු ගෙන නොමැති නිසා එය පොලී වීමෙන් රුපියල් 489,411.76ක මුදල් ශේෂයක් ලෙස ඇති බව ප්රකාශ කෙරිණි. මෙයට අමතරව ඔහු එහි ඉතිරි කිරීමේ ගිණුමක්ද පවත්වාගෙන ගොස් ඇති අතර එයින් මුදල් ආපසු ගෙන නැත.
ඔහු එම ගිණුමට අමතරව 2006 වසරේ දෙසැම්බර් 30දා ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කර ඇත. ආරම්භක තැන්පතුවට අමතරව 2007 වසරේ අවස්ථා දෙකකදී රුපියල් 13,836.65ක් සහ තවත් අවස්ථාවක රුපියල් 14,792.60ක් තැන්පත් කර තිබේ. එමෙන්ම 2008 වසරේදී රුපියල් 16,172.80ක් තැන්පත් කර ඇත.
අනතුරුව නුගේගොඩ දිසා අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා වෙනුවෙන් සෙනෙවිරත්න බණ්ඩාර ඒකනායක යන අය සාක්ෂි දෙන ලදි.
මෙම නඩුවේ 2 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි ඩේසි ෆොරස්ට් යන අය ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා ඇය වෙනුවෙන් භාරකරුවෙක් නම් කරමින් දිසා විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා 2017 වසරේ මාර්තු 15 දා දී ඇති තීන්දුවක් සම්බන්ධයෙන් පැමිණිල්ල විමසන ලදි.
එම නඩුව මඟින් ඩේසි ෆොරස්ට්ගේ දේපළවල භාරකරු ලෙස සඳුනි ආසිරි පෙතියාගොඩ යන තැනැත්තිය නම් කර තිබේ. සිවිල් නඩු විධිවිධාන සංග්රහය අනුව නියෝගයක් නිකුත් කිරීමේදී සලකා බැලිය යුතු 557 සහ 565 සිට 578 දක්වා වගන්ති සලකා බලා තිබේද යන්න විමසා සිටි අතර, එවැන්නක් සලකා බලා නැති බව එහිදී හෙළිවිය.
සිවිල් නඩුවක කාර්ය පටිපාටිය අනුව දේපළ භාරකරුවකු පත්කිරීමේදී දේපළ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වුවත්, මෙහිදී ඒ පිළිබඳ අවධානයට ලක් නොවූ බව ප්රකාශ විය.
ඉන්පසු පැමිණිල්ලේ 168 වැනි සාක්ෂිකරු ලෙස ව්යාපාරිකයකු වන මර්වින් අමරවීර යන අය කැඳවන ලදි. ඔහු සාක්ෂි දෙමින් වැදගත් කාරණා දෙකක් අනාවරණය කරන ලදි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්ය ලේකම්වරයා ලෙස කටයුතු කළ රොහාන් වැලිවිටගේ ඉල්ලීමකට අනුව CSN රූපවාහිනී නාළිකාව සඳහා සජීවී විකාශ සඳහා භාවිත කරන විදේශයකින් ආනයනය කළ ඕ.බී. ට්රක් රථයක් රේගුවෙන් නිදහස් කිරීමට තමා සම්බන්ධ වූ බව එම සාක්ෂිකරු කියා සිටියේය.
“ස්වාමීනී, රොහාන් වැලිවිට යන අය මගේ අසල්වැසියෙක්. ඔහු මගෙන් විදේශයකින් ආනයනය කළ ට්රක් රථයක් රේගුවෙන් මුදවා දෙන්න කියලා ඉල්ලීමක් කළා.
මට ඒක කරන්න බලපත්රයක් නෑ. ඒ නිසා මම ඒ වැඩේ කරන්න පුළුවන් කෙනෙක්ට කිව්වා. ඊට පස්සේ මම ගිහින් මේ වැඩේ කෙරෙන්න අවශ්ය ලියකියවිලි සියල්ල රේගු ලිපිකරුවෙක්ට භාර දුන්නා.
මම දන්නේ නෑ ඒ ගෙනා භාණ්ඩය කුමක්ද කියලා. ඒක රෝද නැති කන්ටේනර් පෙට්ටියක් වගේ දෙයක්. එහි වටිනාකම කොපමණද කියන්න මම දන්නේ නැහැ. රොහාන් වැලිවිට සමඟ තිබූ හිතවත්කමට මම මේක කරලා දුන්නා. මේ කියන රොහාන් වැලිවිට CSN නාළිකාව සමඟ සම්බන්ධයක් තිබූ බව මම දන්නේ නෑ. මටත් CSN නාළිකාව සමඟ කිසිදු සම්බන්ධයක් නෑ” යනුවෙන් පැවසීය.
අනතුරුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරුගෙන් ප්රශ්නගත මිහිඳු මාවතේ දේපළ සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් විමසා සිටින ලදි.
“දෙහිවල-ගල්කිස්ස විවිධ සේවා සමුපකාර සමිතියට අයත් දෙහිවල මිහිඳු මාවතේ තිබෙන අංක: 163/1 කියන දේපළ මිලදී ගන්න රුපියල් 4,150,000ක වටිනාකමකට ටෙන්ඩරයක් දැම්මා. එය පර්චස් 5ක ඉඩම් කැබැල්ලක්. එය මට ලැබුණේ නැහැ. කාටද එය ලැබුණේ යන්න දන්නේ නැහැ” යනුවෙන් පැවසීය.
වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 30දාට නියම කළ විනිසුරුවරයා, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 11 දෙනකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළේය. සාක්ෂිකරුවන් දෙදෙනකු නඩුවෙන් මුදා හැරි අතර, පැමිණිල්ලේ 89 වැනි සාක්ෂිකරු වන සරත් වීරසිරිට සිතාසි නිකුත් කෙරිණි.
රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ මහතා සමඟ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.