යෝජිත ‘මාර්ග යෝග්යතා සහතිකය’ අදාළ වන්නේ පොදු මගී ප්රවාහනය සහ භාණ්ඩ ප්රවාහනය සඳහා භාවිත කරන වාණිජ වාහන සඳහා පමණක් බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම සහතිකය පෞද්ගලික වාහන සඳහා ද අනිවාර්ය කිරීමට පියවර ගනිමින් සිටින බවට මෑතකදී සමාජ මාධ්ය සහ විවිධ මාධ්ය ඔස්සේ පළවූ වාර්තා හේතුවෙන් වාහන හිමියන් අතර දැඩි කථාබහක් නිර්මාණය වී තිබිණි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කරුණු පැහැදිලි කරන මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, මෙම වැඩපිළිවෙළ තවමත් පවතින්නේ සාකච්ඡා සහ විශ්ලේෂණ මට්ටමේ බවයි.
එකී සහතිකය ක්රියාත්මක කළ යුතු ආකාරය සහ ඊට අදාළ නීතිමය හා ප්රායෝගික ක්රමවේද පිළිබඳව ‘මාර්ග යෝග්යතා උපායමාර්ගික කමිටුව’ සමඟ තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෑත කාලීනව බරපතළ වාහන අනතුරු කිහිපයක් වාර්තාවීමත් සමඟ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පවත්නා වාහන දුම් සහතිකයට අමතරව වාහනයේ යාන්ත්රික යෝග්යතාව තහවුරු කිරීමේ සහතිකයක් හඳුන්වා දීමට යෝජනා වී තිබිණි.
කෙසේ වෙතත්, සාමාන්ය පෞද්ගලික මෝටර් රථ හෝ යතුරුපැදි වැනි වාහන සඳහා මෙය බලාත්මක නොවන අතර, මෙම යෝජිත වැඩපිළිවෙළෙහි ඉදිරි පියවර සහ නියමිත ක්රමවේදය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමෙන් පසු ඒ පිළිබඳව මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි