දික්කසාද වූ බිරිඳට සහ දරුවන්ට නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් සිරගත කර සිටි පුද්ගලයෙකුට අත්තනෝමතික ලෙස ජනාධිපති පොදු සමාව ලබා දීම මඟින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කළ රැඳවියාට ලබා දුන් දඬුවම් ලිහිල් කිරීම හෙවත් පොදු සමාව නීතිය හමුවේ ශුන්ය හා බලරහිත බවට ප්රකාශ කළ අධිකරණය ඔහු මේ වන විට නීතියෙන් පලායන්නෙකු බවට පත්ව ඇති බැවින් වහාම නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ට භාර විය යුතු බව ද අවධාරණය කළේය.
අහමඩ් ජලීල් ෆාමිලා බෙගම් නමැති තිදරු මවක විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනක් ද සිල්වා, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් කේ.බී. විජේරත්න යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කිරීමෙන් පසු පසුගිය 23 වැනිදා විනිසුරු ජනක් ද සිල්වා මහතා පිටු 20කින් සමන්විත තීන්දුව ප්රකාශයට පත් කළේය.
පෙත්සම්කාර බෙගම් මහත්මිය සහ හය වැනි වගඋත්තරකරු වන මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් 2005 වසරේදී විවාහ වී ඇති අතර ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටිති. පසුව ඔවුන් දික්කසාද වී ඇත. විවාහය අවසන් වීමෙන් පසු කොළඹ නැගෙනහිර කාති අධිකරණය විසින් මසකට රුපියල් 60,000/- බැගින් නඩත්තු ගෙවීමට වගඋත්තරකරුට නියෝග කර තිබුණි. එම නියෝගය දිගින් දිගටම පැහැර හැරීම නිසා එකතු වූ රුපියල් 1,740,000/- ක හිඟ නඩත්තු මුදල අයකර ගැනීම සඳහා මීගමුව මහේස්ත්රාත් අධිකරණය බලාත්මක කිරීමේ සහතිකයක් නිකුත් කළ අතර, අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් මහේස්ත්රාත් අධිකරණය විසින් ඔහුට මාස 29 ක සිරදඬුවමක් නියම කරමින් 2024 ජූලි 19 වන දින බන්ධනාගාරගත කෙරිණි.
කෙසේ වෙතත්, 2024 සැප්තැම්බර් 12 වන දිනට යෙදුණු ජාතික රැඳවියන්ගේ දිනය වෙනුවෙන් එවකට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන ව්යවස්ථාව යටතේ විශේෂ පොදු සමාවක් ප්රකාශයට පත් කරන ලදී. එහිදී, වගඋත්තරකරුගේ සිරගත කිරීමේ වරෙන්තුවේ ඔහුගේ දඬුවම “දඩ මුදලක් නොගෙවීම වෙනුවෙන්” ලෙස සටහන්ව තිබීම පදනම් කරගනිමින්, දඩ මුදල් නොගෙවූ රැඳවියන්ගේ ඉතිරි සිරදඬුවම සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමේ කාණ්ඩය යටතට ඔහුව ඇතුළත් කර තිබුණි. ඒ අනුව, තමාට නියම වූ මාස 29 ක සිරදඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් පමණක් ගෙවා සිටි ඔහුට පූර්ණ නිදහස හිමි විය.
නමුත් රුපියල් 810,000/- ක නඩත්තු මුදල් නොගෙවීම නිසා මාස 27 ක සිරදඬුවමක් විඳිමින් සිටි මොහොමඩ් ෆයිසාල් නව්ෂාඩ් නමැති වෙනත් රැඳවියෙකුගේ වරෙන්තුවේ “නඩත්තු නොගෙවීම” ලෙස සටහන්ව තිබූ බැවින් ඔහුට හිමිව තිබුණේ සතියක සමාවක් පමණි.
නඩත්තු නොගෙවූ දික්කසාද සැමියා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි දැනගත් බෙගම් මහත්මිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.
නඩුවේදී කරුණු සලකා බැලූ ශ්රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සහ නඩත්තු පනත යටතේ නඩත්තු මුදල් අයකර ගැනීමේ ක්රමවේදය ලෙස “දඩයක් අයකර ගන්නා ආකාරයට” ක්රියා කරනවා මිස, එය සැබෑ දඩ මුදලක් නොවන බවයි. සාරාංශයක් වශයෙන් දෙදෙනාම එකම වරදකට සහ එකම නීතිමය ක්රියාවලියක් හරහා සිරගතව සිටි පුද්ගලයන් වන බැවින්, මහේස්ත්රාත්වරයා සිරගත කිරීමේ වරෙන්තුවේ යෙදූ වචනවල වෙනස මත පදනම්ව එකම තත්ත්වයේ සිටි දෙදෙනෙකුට අසමාන ලෙස සැලකීම කිසිදු තාර්කික පදනමක් නැති අත්තනෝමතික ක්රියාවක් බව විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ, අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) ව්යවස්ථාවෙන් සහතික කර ඇති පෙත්සම්කාර බෙගම් මහත්මියගේ සමානාත්මතාවයේ සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. නඩුවේ හය වන වගඋත්තරකරු සමාව ලැබූ පුද්ගලයාට ලබා දුන් දඬුවම් ලිහිල් කිරීම ශුන්ය හා බලරහිත වන බවත්, ඔහුගේ මුල් සිරදඬුවම එලෙසම වලංගුව පවතින බැවින් මීගමුව මහේස්ත්රාත් අධිකරණයේ මුල් වරෙන්තුව යටතේ ඔහුව නැවත අත්අඩංගුවට ගෙන සිරදඬුවම ක්රියාත්මක කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නීතිමය බලය පවතින බවත් ශ්රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් අවධාරණය කළේය.
රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඬුවම ලැබ සිටි ජූඩ් ෂර්මන්ත ජයමහටත්, අධිකරණයට අපාහස කිරීම හේතුවෙන් සිරදඬුවම් ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමිටත් මෛත්රීපාල සිරිසේන මහතා ලබා දුන් ජනාධිපති සමාව මෙන්ම භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටි ආර් දුමින්ද සිල්වාට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් ජනාධිපති සමාව ද මීට පෙර ශ්රේෂ්ඨාධිකරණය අහෝසි කළේය.
මිරුසුවිල්හි දර කැඩීමට ගිය පුරවැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ එය ශ්රේෂ්ඨාධිකරණයෙන්ද තහවුරු වූ සුනිල් රත්නායකට ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති සමාව ලබා දුන් අතර ඊට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කර අවසන් කර තීන්දුව ලබාදීමට නියමිතව තිබේ.
Source – Medialk.com ( (තරිඳු ජයවර්ධන)