පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අල්ලස් නඩුවට ඇප ලබා නොදීම පිළිබඳව ප්රශ්න කර සිටියි.
අදාළ සැකකරු මේ වන විට දින 50ක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පෙන්වා දෙන නීතිඥවරයා, මත්ද්රව්ය ජාවාරම් නඩුවලට මරණ දඬුවම නියම විය හැකි වුවද නඩු විභාගය සිදුවන කාලය තුළ එම සැකකරුවන්ට පවා ඇප හිමිවන බව මතක් කර දෙයි.
උපරිම දඬුවම අවුරුදු 10යි
“මේක අල්ලස් නඩුවක්, උපරිම දඬුවම අවුරුදු 10යි. එතකොට ඇයි මේ නඩුවට ඇප ලබා දෙන්න බැරි?” යනුවෙන් විමසා සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, සැකකරුගේ මව ඊයේ දිනයේ හදවත් ශල්යකර්මයකට භාජනය වූ බවත්, පියා ඉතාම අසාධ්ය තත්ත්වයක පසුවන බවත් අධිකරණයට පෙන්වා දී තිබේ.
එවැනි තත්ත්වයකදී දෙමාපියන්ට අවශ්ය කටයුතු කරදීම දරුවකුගේ වගකීමක් බවත්, එය විශේෂිත හා සුවිශේෂී තත්ත්වයක් ලෙස නොසලකන්නේ මන්දැයි තමන්ට වටහාගත නොහැකි බවත් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.