ටැටූ එකක් ගැහුවොත් පොලිසියෙන් අරන් ගියොත්, මගේ දුවයි පුතාවත් අරගෙන යන්න ඕනේ, හිතේ හැටියට පච්ච ගහන්න – අධිකරණ ඇමති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට විරුද්ධ වූ බොහෝ පිරිසක් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට ද විරුද්ධ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානානායක්කාර පවසනවා.

නමුත් ස්වාධීන නීතිඥවරුන් සිය අදහස් දැක්වීම් සම්බන්ධයෙන් මෙය අදාළ කර ගැනීමක් සිදු නොකරන ලෙස ඉල්ලා සිටින බවත්, මෙහි යම් දේශපාලනයක් ද තිබෙන බවයි සිරස නාලිකාවේ විකාශය වූ ‘මුහුණට මුහුණ’ වැඩසටහනට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවිධානාත්මක අපරාධ පනත තුළ අපරාධ කල්ලියක සාමාජිකයකු බවට සලකා බලන කරුණු 12 ක් තිබෙන බව ද, පච්ච (Tattoos) යනු එහි එක් කරුණක් පමණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

එහි දක්වා ඇත්තේ හඳුනාගත් අපරාධ කණ්ඩායම්වල ප්‍රකට සාමාජිකයන්ගේ ලක්ෂණ සම්බන්ධයෙන් වන අතර, එම කොටස උපුටාගෙන ඇත්තේ සිංගප්පූරු නීතියෙන් බවත්, විවිධ රටවලදී යම් යම් අපරාධ කල්ලිවල සාමාජිකයන් බවට ඔප්පු කිරීමට පච්ච භාවිතා කරන බවත් ඔහු පැවසුවා.

එම තත්ත්වය සිංගප්පූරුව, ජපානය සහ ඇමරිකාව වැනි රටවල පවතින බවත්, මෙම පනත තුළ දක්වා ඇත්තේ එවැනි විශේෂිත පච්ච සම්බන්ධයෙන් මිස, සාමාන්‍යයෙන් ඇති පච්ච නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. 

‘හිතේ හැටියට පච්ච ගැසීම’ සිදුකරන ලෙසත්, ‘ඕනෑම පච්චයක්’ කෙටූ පමණින් පුද්ගලයන් අල්ලා ගෙන යෑමක් සිදු කරන්නේ නම්, තම දුව සහ පුතා ද පොලිසියෙන් අල්ලාගෙන යා යුතු බවත්, පච්ච සම්බන්ධයෙන් සිදුකරන එවැනි ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි තවදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානානායක්කාර සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *