ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් නොව, එවකට මුදල් අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා බව බාල බෙහෙත් නඩුවේ 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විත්ති කූඩුවේ සිට දීර්ඝ ප්‍රකාශයක් කරමින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.
2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීමට තමන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළද ඊට අනුමැතිය හිමි නොවූ බවද ඔහු පැවසීය. ඒ වෙනුවට එවකට මුදල් අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවද ප්‍රකාශ කළේය. එම තීරණයේ සාමූහික වගකීමට තමන් බැඳී සිටින නමුත්, ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නඩුවේදී විශාල වශයෙන් සාකච්ඡා වුවද එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම පත්‍රිකාව ඉදිරිපත් කළේ හිටපු අග්‍රාමාත්‍යවරයා බවත් ඔහු කියා සිටියේය. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් මාලක වීරසූරිය සහ පී.එම්. බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම සාක්ෂිය ලබාදුන්නේය.
ඔහුගේ දීර්ඝ ප්‍රකාශය තුළ ආන්දෝලනාත්මක කරුණු රැසක් අන්තර්ගත විය. වසර 20කට ආසන්න සිය පාර්ලිමේන්තු දිවිය තුළ අමාත්‍යාංශ 9ක අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ බවත්, 2021 වසරේදී ප්‍රථම වරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ බවත් ඔහු පැවසීය.
ඒ වන විට තමන් යුද්ධය අවසන් කිරීමේ කටයුත්තට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර තිබූ බවද හැඟීම්බරව කියා සිටියේය.
තමන් දේශපාලනයට පැමිණියේද, ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට පත්වූයේද, අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූයේද අහඹු ආකාරයෙන් බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කොවිඩ්-19 වසංගතය පැවැති වටපිටාව තුළ සහ 2022 වසරේ රටේ ඇතිවූ දැඩි ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්රය අර්බුදයකට පත්ව තිබූ බව ඔහු පැවසීය. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාන්දර 6.00ට පමණ දුරකතන ඇමතුමක් දී සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ආරාධනා කළ බව කියා සිටියේය. එම ආරාධනාව ලැබෙන අවස්ථාව වන විට රටේ විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 35 දක්වා පහත බැස තිබූ අතර, මුහුදේ තිබූ ඉන්ධන නැව් සඳහා ගෙවීමට පවා ඩොලර් නොමැතිව මුළු රටම අකර්මණ්‍යව තිබූ බව පැවසීය.
තමන් ඒ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගෙන අවශ්‍ය පියවර කඩිනමින් නොගත්තේ නම් ඉන්ධන පෝලිම් වෙනුවට වෙනත් ආකාරයේ පෝලිම් ඇතිවී රටේ ජනතාවට ඛේදජනක ඉරණමකට මුහුණ දීමට සිදුවන බව කියා සිටියේය.
2022 අප්‍රේල් මාසයේදී සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වූ බවත්, ඉන්පසු 2022 මැයි 20 වැනිදා සිට ඔක්තෝබර් 23 වැනිදා දක්වා නැවතත් තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ බවත් හෙතෙම සඳහන් කළේය.
එම වටපිටාව තුළ රටේ විදේශ විනිමය සංචිත ඩොලර් මිලියන 35ක් දක්වා පහත බැස තිබූ අතර, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදන භාවිත කරමින් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම වැළැක්වීම එකම අරමුණ වූ බව හෙතෙම පැහැදිලි කළේය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය භාවිත කිරීමේ දුර්වලතාවක් පවතින බව භාණ්ඩාගාරය දැනුම් දීමෙන් පසු, මුදල් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි 2022 සැප්තැම්බර් 26 වැනිදා අරමුදල් ප්‍රතිපාදන වෙනස් කිරීමේ කැබිනට් සන්දේශය තමන් ඉදිරිපත් කළ බව හෙතෙම කියා සිටියේය. තමන් එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ එම විදේශ විනිමය පෞද්ගලික අංශයට පැවරීමට මුදල් අමාත්‍යාංශයේ සූදානමක් තිබූ නිසා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
කැබිනට් තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට හිමිවන බවත්, ප්‍රසම්පාදන කටයුතුවලට තමන් කිසිසේත් සම්බන්ධ නොවූ බවත් හෙතෙම අවධාරණය කළේය.
ඖෂධ තොග තත්ත්වය පිළිබඳව වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් ලබාදුන් වාර්තා මත තමන් තීරණ ගත් බවත්, එම තාක්ෂණික තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කිරීමේ හැකියාවක් අමාත්‍යවරයාට නොමැති බවත් පැවසීය.
ව්‍යාජ ලේඛන සකස් කර අදාළ ඖෂධ ගෙන්වා ඇති බව දැනගත් වහාම සෞඛ්‍ය අමාත්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තමන් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
තමන් කළ පැමිණිල්ලක් ඔස්සේ සිදුකළ විමර්ශනයක් හේතුවෙන් මාස 9කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවූ බවත්, එවැනි තත්ත්වයක් තුළ අනාගතයේදී කිසිදු අමාත්‍යවරයකු සිය අමාත්‍යාංශවල දූෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි නොකරනු ඇතැයි කියා සිටියේය. 2023 දෙසැම්බර් 26 සහ 2024 පෙබරවාරි 02 යන දිනවල පැය 12ක් පුරා සීඅයිඩීයට ප්‍රකාශ ලබාදෙමින් විමර්ශනවලට පූර්ණ සහාය ලබාදුන් බවද හෙතෙම පැවසීය.
චෝදනා එල්ල වන රැස්වීම් පැවැති දිනවල තමන් අමාත්‍යාංශයේ නොසිටි බව පෙන්වා දුන් හිටපු අමාත්‍යවරයා, 2022 සැප්තැම්බර් 02 වැනිදා සිට 07 වැනිදා දක්වා භූතානයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවට සහභාගි වූ බවත්, ඒ බව ගුවන් ගමන් බලපත්‍රයේ මුද්‍රා මඟින් තහවුරු කළ හැකි බවත් කියා සිටියේය. එවැනි තත්ත්වයක් තුළ තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී අදාළ තීරණය ගත් බව වාර්තාවල සඳහන් වීම ගැන ඔහු විමතිය පළ කළේය. 2022 ඔක්තෝබර් 10 වැනිදා සීතාවක ප්‍රදේශයේ පැවැති උත්සවයකට ජනාධිපතිවරයා සමඟ සහභාගි වූ නිසා එම රැස්වීම් තමන්ගේ ප්‍රධානත්වයෙන් නොපැවැත්වුණු බවද ඔහු පැහැදිලි කළේය. ඒ නිසා මෙම සිද්ධියට තමන් කිසිසේත් සම්බන්ධ නොමැති බව චුදිත හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.
ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ සහ ‘රිටොප්සිමැප්’ ඖෂධ වෙනුවට වෙනත් දියර වර්ග සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමෙන් රුපියල් ලක්ෂ 1,444ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, කුමන්ත්‍රණය කිරීම සහ අනුබල දීම ඇතුළු චෝදනා යටතේ 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 13ක් යටතේ මෙම නඩුව පවරා තිබේ.
මෙහි පළමු විත්තිකරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා වන අතර, ‘අයිසුලේට් බයෝටෙක් ෆාර්මා’ හිමිකරු සුදත් ජනක ප්‍රනාන්දු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂවරුන් වන වෛද්‍ය කපිල වික්‍රමනායක සහ වෛද්‍ය ඒ. තුසිත සුදර්ශන, හිටපු සහකාර අධ්යක්ෂ ශාන්ති සොලමන්, හිටපු ගණකාධිකාරි නෙරාන් ධනංජය, හිටපු තොග පාලක සුජිත් කුමාර, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය එච්.එම්. ධර්මසිරි රත්නකුමාර හේරත් සහ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන 12 දෙනා විත්තිකරුවන් ලෙස නම්කර ඇත.
9 වැනි විත්තිකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය අධිකරණය මඟහරිමින් සිටින බැවින් ඔහු නොමැතිව නඩුව විභාග වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවයි.