හිස් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට සාපේක්ෂව, සියලුම මත්පැන් වර්ගවල මිල ගණන් නොවැම්බර් 1 වැනිදා සිට ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන ඇත.
හිස් බෝතල් නිෂ්පාදනය කරන සමාගම, සිය පිරිවැය ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙමින් පහත පරිදි ගාස්තු ඉහළ දමා තිබේ:
- මිලිලීටර් 750ක බෝතලයකට – රුපියල් 160
- මිලිලීටර් 375ක භාග බෝතලයකට – රුපියල් 140
- මිලිලීටර් 180ක කාල බෝතලයකට – රුපියල් 109
මේ අනුව, මෙරට වැඩිම ඉල්ලුමක් සහිත ගල් බෝතලය සඳහා වයින් ස්ටෝර්ස් මගින් මෙතෙක් අය කළ තැන්පතු මුදල රුපියල් 60 සිට රුපියල් 100 දක්වාත්, භාග බෝතලය සඳහා රුපියල් 40 සිට රුපියල් 70 දක්වාත්, කාල බෝතලය සඳහා රුපියල් 20 සිට රුපියල් 30 දක්වාත් ඉහළ දමා ඇත.
බෝතල් ආපසු භාර නොගන්නා සමාගම් ද මත්පැන් මිලටම බෝතල් මිලදී ගැනීමට වැය වන අමතර මුදල එකතු කර, එම මුදල පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීමට පියවර ගෙන ඇත.
මිලිලීටර් 750ක ගල් බෝතලයක නව මිල, රුපියල් 100ක තැන්පතු මුදල සමඟ රුපියල් 3,800ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් රුපියල් 360ක් මත්පැන් අලෙවිසලට හිමිවන අතර, වැට් බද්ද ලෙස රජයට රුපියල් 611ක් පමණ ලැබෙන බව සමාගම් සඳහන් කරයි.
සුරා බද්ද ඉහළ දමා නොතිබුණද, හිස් බෝතල් මිලදී ගැනීමට යන වියදම ඉහළ යාම හේතුවෙන්, එම මුදල පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව සමාගම් පවසයි.