මුදල් විශුද්ධීකරණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (03) මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණයේදී විමර්ශන නිලධාරීන් අනාවරණය කර ඇත්තේ සැකකාර පොලිස් පරීක්ෂකවරියගේ මාසික වැටුප රුපියල් 140,000ක් පමණ වන අතර, ඇය පරිහරණය කළ හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථයේ මාසික කල්බදු වාරිකය රුපියල් 132,000ක් වන බවයි.
රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් රතු පැහැති මෙම මෝටර් රථය මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට යොදාගත් මුදල්වල මූලාශ්‍ර පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක වන බවද අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව CBE 1874 අංකය දරන අදාළ මෝටර් රථය පසුගිය ඔක්තෝබර් 16 වැනිදා විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමුපකාර සමිතිය ආශ්‍රිතව සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාවකට සම්බන්ධ පුද්ගලයෙකු විසින් මෙම මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වනවා.
අදාළ සමුපකාර ආයතනවල හිටපු සභාපති චමින්ද ගුණසේකරට එරෙහිව රුපියල් කෝටි සිය ගණනක මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පසුගිය අප්‍රේල් 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී තවත් වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන සිකුරාදා (06) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කර තිබෙනවා.
සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එම චෝදනා මෙතෙක් අධිකරණය හමුවේ ඔප්පු වී නැහැ.