මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය නොවැම්බර් 05 අවසන් වී තිබේ.
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කරමින් සිය ස්ථාවරය අධිකරණයට දැනුම් දී තිබේ.
අනතුරුව විත්තියේ නීතිඥවරුන් විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පැවති බව කියන අතහැරීම් (Omissions) අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත.
මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරුණු මතු වී ඇති අතර, අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන බව දැනුම් දී තිබේ.
පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වූ අවස්ථාවකදී, පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් පදනමක් නැති බව පෙන්වා දී විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට 200(1) වගන්තිය අදාල වේ.
එවැනි ඉල්ලීමක් සලකා බලා පැමිණිල්ලේ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව අධිකරණය තීරණය කළහොත් විත්තිය කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කළ හැකිය. ප්‍රමාණවත් පදනමක් තිබේ නම් විත්තිය කැඳවිය හැකිය.
ඒ අනුව නඩුවේ වැඩිදුර කටයුතු නොවැම්බර් 06 වැනිදා දක්වා කල් තැබිණි.
2010 ජනවාරි 24 වැනිදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත්තේ නීතිපතිවරයා විසිනි.
2019 වසරේදී ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.
වසර ගණනාවක් පුරා විභාග වූ මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමත් සමඟ නඩු විභාගය තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.