ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 20 වන දා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියම කළේ ය.
මෙම නඩුකරය අද (නොවැ: 06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබිණි.
මෙම නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටි (නමුත් වෙනත් නඩුවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටී) සැකකාර නාමල් රාජපක්ෂ සහ තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව කොළඹ ප්‍රාදේශීය ලේකම්, හිටපු ඉඩම් කොමසාරිස් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළා ය.
ඊට අමතරව කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩම ක්‍රිෂ් සමාගමට පැවරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කර සිටියා ය.
එමෙන් ම, මෙම නඩුකරයට අදාළව විමර්ශනවලට භාජනය වී තිබෙන ලේඛනයක අන්තර්ගත වී ඇති සැකකාර නාමල් රාජපක්ෂගේ අත්අකුරු සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙන බවත්, එම විමර්ශනය කිරීම සඳහා අදාළ ලේඛනයේ මුල් වාර්තාව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා ඇති බවත් ඇය සඳහන් කළා ය.
එම මුල් ලේඛනය කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ පවතින නඩු ගොනුවක පවතින අතර එම ලේඛනය ලබාගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය නියෝගයක් කොළඹ මහාධිකරණයේ අංක 07 ශාලාවේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එම ඉල්ලීම අද දින ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ අන්තර්ගත වී නොමැති බව ය.