ආණ්ඩුව අඩු මිලට තෙල් දෙයි – පුද්ගලික සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න නිතීමය බාධාවක් නෑ – තෙල් සංස්ථා සභාපති කියයි

 මෙරට ක්‍රියාත්මක වන පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම්වලට ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් වැනි ඉන්ධන වැඩි මිලකට අලෙවි කිරීම සඳහා අත්සන් කර ඇති ගිවිසුම් අනුව නීතිමය බාධාවක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ  සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේ, ලබන වසරේ මැද භාගය දක්වා මෙරටට අවශ්‍ය සමස්ත ඉන්ධන තොග සහ සැපයුම් ජාලය කිසිදු බාධාවකින් තොරව තහවුරු කර ඇති බැවින් රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.

පෞද්ගලික ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීම සීමා කරමින් පාරිභෝගිකයන්ට ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් මිලදී ගැනීමට බලකිරීම සහ ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පෝලිම් නිර්මාණය වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා මෙසේ පැහැදිලි කළේය:

“පෞද්ගලික සමාගම් මෙරටට පැමිණියේ ව්‍යාපාරික අරමුණින්. රජයේ මිල සූත්‍රය අනුව පවතින මිල ගණන් යටතේ පාඩු සිදුවන බව පවසමින් ඇතැම් සමාගම් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබුණා. විශේෂයෙන්ම සිපෙට්කෝ පිරවුම්හල් නොමැති දුරබැහැර ප්‍රදේශවල මෙම තත්ත්වය නිසා ජනතාව අපහසුතාවට පත්වුණා. අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අප සියලුම සමාගම් කැඳවා සාකච්ඡා කළා. එහිදී සිපෙට්කෝ පිරවුම්හල් රහිත ස්ථාන 52ක් හඳුනාගෙන, එම ප්‍රදේශවලට ප්‍රමුඛතාවය දී ඉන්ධන නිකුත් කරන ලෙස ඔවුන්ට දැඩිව උපදෙස් දුන්නා. ඊට අමතරව සංස්ථාව මඟින් අලුතින් පිරවුම්හල් 75ක් ආරම්භ කිරීමටද මේ වන විට කටයුතු යොදා තිබෙනවා.”

පෞද්ගලික සමාගම් මෙරටට ඇතුළු වීමේදී අත්සන් කරන ලද ගිවිසුම්වල පවතින උපරිම මිල සීමාවන් සහ පාඩු පියවීමේ කොන්දේසි සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතුව ඇති බවත්, ඒ පිළිබඳව විෂයභාර අමාත්‍යාංශය නීතිමය උපදෙස් ලබාගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, වත්මන් ගිවිසුම්ගත කොන්දේසි ප්‍රකාරව ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් මිල සංශෝධනය කිරීමට ඔවුන්ට බාධාවක් නොමැති බවද ඔහු තහවුරු කළේය.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 80ත් 90ත් අතර ඉහළ ප්‍රතිශතයකින් ඉහළ ගියද, දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ දමනු ලැබුවේ සියයට 43ත් 45ත් අතර සීමිත මට්ටමකින් බව පෙන්වා දුන් සභාපතිවරයා, මේ දිනවල මැදපෙරදිග යුද ගැටුම් ක්‍රමයෙන් සමනය වෙමින් පවතින පසුබිමක ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි සිදුවන ඕනෑම පහත වැටීමක වාසිය කඩිනමින් මෙරට පාරිභෝගික ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *