ඩොලර් මිලියන 69ක වියදමින් ඉදිවන මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය 2027 අවසන් භාගයේදී ජනතා අයිතියට

මහනුවර නගරයේ ක්‍රියාත්මක වන ප්‍රධානතම සංවර්ධන ව්‍යාපෘතියක් වන “මහනුවර බහුමාධ්‍ය ප්‍රවාහන පර්යන්තය” (Kandy Multimodal Transport Terminal) 2027 වසරේ තෙවන කාර්තුවට පෙර මහජනතාව සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඇමෙරිකානු ඩොලර් මිලියන 69.3ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දැනට මහනුවර නගරය පුරා විසිරී පවතින බස් පර්යන්ත 9ක් පමණ එකම ස්ථානයකට ගෙන ඒමට නියමිතයි.

මෙම බස් පර්යන්ත නව පර්යන්තය වෙත ගෙනයාම අදියරෙන් අදියර ක්‍රමයෙන් සිදු කරන බැවින් ඒ සඳහා අතිරේක කාලයක් ගතවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරණවා.

මෙම ව්‍යාපෘතියට සමගාමීව පර්යන්තය වෙත පිවිසෙන ප්‍රධාන මාර්ග වැඩිදියුණු කිරීම සහ ඒ ආශ්‍රිත ප්‍රධාන මාර්ගයන්හි “උපග්‍රහණ බස් නැවතුම්පොළවල්” (Satellite Bus Stations) පිහිටුවීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම යෝජිත උපග්‍රහණ බස් නැවතුම්පොළවල් සඳහා වන ශක්‍යතා අධ්‍යයනයන් මේ වන විට සිදුකෙරෙන අතර, එම අධ්‍යයන කටයුතු අවසන් වූ වහාම ඒවායේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.

මීට අමතරව, මාර්ග පුළුල් කිරීම්, නව පිවිසුම් මාර්ග සහ යෝජිත මංතීරු හතරේ මාර්ග ඇතුළු මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ද මෙම පර්යන්ත ව්‍යාපෘතිය සමගම ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම මාර්ග වැඩිදියුණු කිරීම් මධ්‍යම අධිවේගී මාර්ග සංවර්ධන කටයුතු සමග ද සම්බන්ධ කෙරෙන බව සඳහන්.

මෙම ඒකාබද්ධ ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස 2029 හෝ 2030 වසර වන විට මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත හැකි වනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *