කොළඹ කාණු පද්ධතිය අවහිර කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම තවදුරටත් සිදු වෙයි

කොළඹ නගරයේ ජලාපවහන පද්ධතියට බාධා වන පරිදි ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බව කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසයි.

එවැනි අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය නිසි ලෙස බැස යාමට බාධා එල්ල වීම සහ ජලාපවහන ඇළ මාර්ග පිරිසිදු කර නඩත්තු කිරීම දුෂ්කර වීම කොළඹ නගරයේ ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමේ කටයුතුවලට ප්‍රධාන අභියෝගයක් වී ඇති බව නගරාධිපතිවරිය පෙන්වා දෙයි. නගරයේ ජලාපවහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් ලෙස කොළඹ මහ නගර සභාව විසින් මෙම බාධක හඳුනාගෙන ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව ඇය සඳහන් කළාය.

මේ අතර, නිවාස හිමියන් සහ සමාගම් කිහිපයක් විසින් සිය දේපළවල පිහිටි අනවසර ඉදිකිරීම් ස්වේච්ඡාවෙන්ම ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව නගරාධිපති බල්තසාර් මහත්මිය සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඔවුන් ලබා දුන් සහයෝගය අගය කළ නගරාධිපතිවරිය, තවත් නිවැසියන් සහ ව්‍යාපාරිකයන් ඔවුන් ආදර්ශයට ගනිමින් කොළඹ ජලාපවහන පද්ධතිය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *