අපරාධ චෝදනා මත සිම්බාබ්වේ දේවගැති යුබර්ට් ඒන්ජල් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලාංකික දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන සිම්බාබ්වේ හි ප්‍රකට දේවගැතිවරයෙකු වන යුබර්ට් ඒන්ජල් (Uebert Angel), අශෝභන ලිංගික අතවර කිරීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සිදු කිරීම (Sodomy) යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

සිම්බාබ්වේ ජනරජ පොලිසිය (ZRP) තහවුරු කර ඇත්තේ, යුබර්ට් මුඩ්සානිරේ (Uebert Mudzanire) යන සැබෑ නාමයෙන් හඳුන්වන ඔහුව පසුගිය ඉරිදා (නොවැම්බර් 22) දින අත්අඩංගුවට ගත් බවයි. එදින පස්වරුවේ අදාළ ලිංගික චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් පෝල් නියාති විසින් ද මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කර ඇති බව සිම්බාබ්වේ මාධ්‍ය වාර්තා කරයි.

‘ස්පිරිට් එම්බසි’ (Spirit Embassy) ආයතනයේ නිර්මාතෘවරයා වන ඒන්ජල් එරට ප්‍රසිද්ධ ආගමික චරිතයක් වන අතර, සිම්බාබ්වේ හි විශේෂ තානාපතිවරයෙකු (Ambassador-at-Large) ලෙස ද සේවය කර ඇත. දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ හරාරේ නුවර පැවති දේව මෙහෙයක් අතරතුරදීය.

මෙම චෝදනාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ අනන්‍යතාවය ඇතුළු සම්පූර්ණ තොරතුරු පොලිසිය විසින් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර, මෙම චෝදනා තවමත් අධිකරණය හමුවේ ඔප්පු වී නොමැත.

මෙම දේවගැතිවරයා මතභේදයට තුඩු දුන් ශ්‍රී ලාංකික දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ ඉතා සමීප සබඳතා පවත්වන අයෙකි. ජෙරොම් ප්‍රනාන්දු විසින් ඔහුව සිය ආධ්‍යාත්මික පියා සහ ආගමික උපදේශකවරයා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා දී තිබේ. තමන්ව අනාගතවක්තෘවරයෙකු (Prophet) ලෙස හඳුන්වා ගැනීමට දිරිමත් කිරීම ඇතුළුව තම ආගමික ගමන් මගෙහි යුබර්ට් ඒන්ජල් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බව ප්‍රනාන්දු මීට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවලදී පිළිගෙන ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ‘ඩේලි මිරර්’ (Daily Mirror) පුවත්පත සමඟ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජෙරොම් ප්‍රනාන්දු තහවුරු කර තිබුණේ තම දියණිය යුබර්ට් ඒන්ජල්ගේ පුත්‍රයා සමඟ විවාහ ගිවිසගෙන ඇති බවයි. මෙම දේවගැතිවරුන් දෙදෙනා අතර පවතින සබඳතාව මීට පෙර ද ශ්‍රී ලංකාව තුළ මහජන අවධානයට ලක්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *