ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැපවීම් හා ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව තම මෙහෙයුම් පුළුල් කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) නිලධාරීන් 971ක් බඳවා ගනිමින්, වසර අවසන් වීමට පෙර ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘත කිරීමට අපේක්ෂා කරන බව කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාවට (CoPF) එක්වෙමින් දිසානායක මහතා මේ බව සඳහන් කළේය. මෙම කාරක සභාව, 2026 සැප්තැම්බර් 29 වැනිදා කොමිසමේ 2027 අයවැය ඇස්තමේන්තු අනුමත කළේය.
ප්‍රාදේශීය කාර්යාල ඉලක්කය සපුරාගැනීම සඳහා, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා පවතින රජයේ ගොඩනැගිලි පරීක්ෂා කර ඇති බවත්, ඉන් ඇතැම් ගොඩනැගිලි අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හා ඉතිරි ගොඩනැගිලි කුලියට ලබාගැනීමට නියමිත බවත් දිසානායක මහතා සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හරහා ලබාදෙන ජපාන රජයේ ඩොලර් මිලියන 2.5ක පරිත්‍යාගයක් යටතේ, නව කාර්යාල සඳහා පරිගණක හා ජායාරූප පිටපත් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ රුපියල් මිලියන 109ක් වටිනා ප්‍රමාණයක් CIABOC විසින් ලබාගනිමින් සිටී.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ දේපළ හා බැරකම් ප්‍රකාශ කළ යුතු පුද්ගලයින් 34,000කට ආසන්න සංඛ්‍යාවක් ද කොමිසම හඳුනාගෙන ඇති අතර, ප්‍රමාද ගාස්තු අයකරගැනීම සඳහා මෙය යොදාගැනෙනු ඇත. එම දඬුවම් මුදල කොමිසමේ අරමුදලට බැරකෙරෙනු ඇත.
කෙසේ වෙතත්, වාහන කුලියට ගැනීම, ප්‍රාදේශීය කාර්යාල ගොඩනැගිලි කුලියට ගැනීම හා නිල විදේශ ගමන් සිදුකිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය අවශ්‍ය කරන 2024 භාණ්ඩාගාර චක්‍රලේඛය, කොමිසමේ කාර්යභාරයට බාධාවක් විය හැකි අතර එහි ස්වාධීනත්වය දුර්වල කළ හැකි බවට දිසානායක මහතා අනතුරු අඟවා සිටියේය. පනත අනුව CIABOC ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන ලබාදිය යුතු බව ආචාර්ය ද සිල්වා මහතා අවධාරණය කළේය.
කොමිසමේ අනාගත අයවැය ඇස්තමේන්තු මැයි 30 වැනිදාට පෙර කථානායකවරයා වෙත ලැබිය යුතු බවට ද කාරක සභාව එකඟ විය. පනතට අනුව 2027 ඇස්තමේන්තු මුදල් අමාත්‍යාංශය හරහා නොව කෙලින්ම කථානායකවරයා වෙත යොමු විය යුතු අතර, මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහිතව එම ඇස්තමේන්තු කාරක සභාවට ලැබුණේ සැප්තැම්බර් මාසයේදී පමණි.