පසුගිය රජයක් සමයේ කැබිනට් අනුමැතිය ලබාගෙන, එහි මහල් නිවාස සංකීර්ණයක් ඉදිකරන ලද කොළඹ 7 ප්රදේශයේ සැකකටයුතු ඉඩම් ගනුදෙනුවක් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විමර්ශනයක් ආරම්භ කර ඇත.
විමර්ශනවලට අනුව, පුද්ගලයන් දෙදෙනෙකු එම ඉඩම මිලදී ගැනීම සඳහා බැංකුවකින් රුපියල් මිලියන 154ක ණයක් ලබාගෙන ඇති අතර, එවැනි මිලදී ගැනීමක් සිදුකිරීමට ඔවුන්ට ප්රමාණවත් මූල්ය හැකියාවක් නොතිබූ බව CIABOC විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.
අදාළ ණය මුදල ආපසු ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බැංකුව එම ඉඩම වෙන්දේසි කර ඇති අතර, පසුව දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයෙකු විසින් පිහිටුවන ලද සමාගමක් මගින් එය මිලදීගෙන ඇති බව විමර්ශන නිලධාරීහු පවසති. ඉඩම මුලින් මිලදී ගත් බව සඳහන් වූ පුද්ගලයන් දෙදෙනා විමර්ශකයින්ට පවසා ඇත්තේ, තමන් අදාළ ලේඛනවලට අත්සන් කිරීම පමණක් සිදුකළ බවයි.
පසුව එම ඉඩම වෙනත් සමාගමකට රුපියල් මිලියන 940කට විකුණා ඇති අතර, එහි මහල් නිවාස සංකීර්ණයක් ඉදිකර තිබේ. මේ වන විට එම මහල් නිවාස සංකීර්ණයේ වත්මන් පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් ද CIABOC විසින් ලබාගෙන ඇති බව එහි ජ්යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර තිබේ.