හානිකර රසායනික ද්රව්යවලින් තොරව, සෞඛ්යාරක්ෂිතව හා ගුණාත්මකව පලතුරු ඉදවීම සඳහා නවීන තාක්ෂණික දුම්කුටි 10ක් මේ වසරේදී ඉදිකර පලතුරු නිෂ්පාදකයන්ට ලබා දීමට පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනය සූදානම් වෙයි.
වාණිජ ව්යාපාරවලට පලතුරු නවීන ක්රමයට ඉදවීම සඳහා අවශ්ය තාක්ෂණය හා පුහුණුව ලබා දෙමින් මෙම නවීන තාක්ෂණික දුම්කුටි ඉදිකරන බව පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්රශාන්ත මහතා සඳහන් කළේය.
වෙළෙඳපොළේ සෞඛ්යාරක්ෂිත පලතුරු සුලබ කිරීමට විධිමත් සැලසුම්සහගත වැඩපිළිවෙළක අවශ්යතාව හඳුනාගනිමින් මෙම නවීන දුම්කුටි ස්ථාපනය කිරීම සිදු කෙරේ.
සාම්ප්රදායික දුම්කුටිවලින් ඔබ්බට ගිය, හානිකර රසායනික භාවිතයෙන් තොරව ස්වාභාවික හා විද්යාත්මක ක්රමවේද ඔස්සේ පලතුරු ඉදවීම සඳහා මෙම නවීන තාක්ෂණික දුම්කුටි හෙවත් පලතුරු ඉදවන කුටීර ඉදිකෙරෙයි.
අහිතකර රසායනික ද්රව්ය යොදා පලතුරු කෘත්රිමව ඉදවීම නිසා ජනතාවගේ, විශේෂයෙන්ම රටේ අනාගතය වන දරුවන්ගේ සෞඛ්යයට සිදුවන හානිය වැළැක්වීම සහ උසස් ප්රමිතියෙන් යුත් පලතුරු පාරිභෝගිකයා වෙත සමීප කිරීම අරමුණු කරගනිමින් ‘වස විසෙන් තොර පලතුරු දරුවන්ට’ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම පලතුරු ඉදවීමේ නවීන තාක්ෂණික කුටි ඉදිකෙරෙයි.