ආසියානු සංවර්ධන බැංකුවේ මූල්ය ප්රතිපාදන යටතේ රුපියල් මිලියන 177ක පිරිවැයක් දරමින් මීගමුව දිස්ත්රික් මහ රෝහල වෙත ස්ථාපිත කරන ලද අති නවීන CT ස්කෑන් යන්ත්රය නිල වශයෙන් රෝහල් ප්රතිකාර සේවාවට එක් කිරීම ඊයේ (07) පස්වරුවේ සිදු කෙරිණි.
මීගමුව සහ අවට ප්රදේශ රැසකින් දෛනිකව පැමිණෙන විශාල රෝගීන් සංඛ්යාවකට සේවා සපයන මීගමුව දිස්ත්රික් මහ රෝහලේ රෝග විනිශ්චය සේවා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම නව CT ස්කෑන් යන්ත්රය මඟින් සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇත.
මෙතෙක් CT ස්කෑන් පරීක්ෂණ සඳහා රෝගීන් රාගම ශික්ෂණ රෝහල සහ වැලිසර රෝහල වෙත යොමු කිරීමට සිදුව තිබූ අතර, නව යන්ත්රය හේතුවෙන් එම පහසුකම මීගමුව රෝහල තුළදීම ලබා ගැනීමට අවස්ථාව සැලසීමෙන් රෝගීන්ට ගතවන කාලය සහ ප්රවාහන වියදම් සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකි වේ.
මේ අතර, ඩැරැල් කූඤ්ඤ පියතුමාගේ මූලික මැදිහත්වීම මත දානපතීන්ගේ හා පරිත්යාගශීලීන්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 290ක පිරිවැයක් දරමින් පූර්ණ ලෙස ප්රතිසංස්කරණය කරන ලද මීගමුව දිස්ත්රික් මහ රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ලද මෙහිදී ප්රතිකාර සේවා සඳහා විවෘත කෙරිණි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ බෝ නොවන රෝග ඒකකය මඟින් රුපියල් මිලියන 10ක මුදලක් වැය කර රෝහල් පරිශ්රයේ ස්ථාපිත කරන ලද ව්යායාම මධ්යස්ථානයද මෙහිදී නිරීක්ෂණයට ලක් කෙරිණි.
අනතුරුව රෝහල් පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්රතිකාර සඳහා පැමිණ සිටි රෝගීන්ගේ ගැටලු හා අවශ්යතා පිළිබඳවද සොයා බැලීමට කටයුතු කෙරිණි.
මෙම අවස්ථාවට ඩැරැල් කූඤ්ඤ පියතුමා, විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන, ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න, මීගමුව නගරාධිපති දුලීප් චාමර, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් කේ. පී. යෝගචන්ද්ර, මීගමුව දිස්ත්රික් මහ රෝහලේ අධ්යක්ෂිකා වෛද්ය පුෂ්පා ගම්ලත්ගේ, නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය චමින්ද කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙද හෙදියන් සහ සෞඛ්ය ක්ෂේත්රයේ වෘත්තිකයන් පිරිසක් එක්ව සිටියහ.