දැරියන් 6 දෙනෙකු අපයෝජනයට ලක්කළ නාඔටුන්නේ විජිත හිමිට ඕස්ට්‍රේලියාවේදී වසර 13 ක සිර දඩුවම් නියම කරයි

මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13යි මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ County Court අධිකරණය මෙම දඬුවම නියම කළේය.

මෙල්බන්හි Springvale සහ Keysborough ප්‍රදේශවල පිහිටි Dhamma Sarana විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ ඔහු, 1994 සිට 2002 දක්වා කාලය තුළ විහාරස්ථානයට පැමිණි දැරියන් 6 දෙනෙකු අපයෝජනය කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිරදඬුවම යටතේ ඔහුට අවම වශයෙන් වසර 9යි මාස 4ක් සිරගතව සිටීමෙන් පසුව පමණක් කොන්දේසි සහිත නිදහස සඳහා සුදුසුකම් ලැබිය හැකිය.

තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු Pardeep Tiwana සඳහන් කළේ, ආගමික නායකයෙකු ලෙස ඔහු කෙරෙහි දෙමාපියන් සහ දරුවන් තැබූ විශ්වාසය ඉතා බරපතළ ලෙස පාවාදී ඇති බවයි. මෙම සිදුවීම් හේතුවෙන් වින්දිත කාන්තාවන් දශක ගණනාවක් තිස්සේ මානසික පීඩාවන්ට මුහුණදී ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.

දඬුවම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව භික්ෂුව අධිකරණයේ සිටි තම ආධාරකරුවන් දෙස බලා සිනාසෙමින් අත වැනීමත්, ඇතැම් ආධාරකරුවන් ඔහුට වැඳ ආචාර කිරීමත් වින්දිතයන්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.

සිරදඬුවම අවසන් වීමෙන් පසු ඔහු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට ඉඩ ඇති අතර, ස්වීඩනයට ආපසු යාමට තමන් කැමැත්තෙන් සිටින බව ද හිමි නම අධිකරණයට දැනුම්දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *