කස්සප කිංස්බරි ගිය එකට අපිට වගකියන්න බැහැ – උලපනේ සුමංගල හිමි කියයි

බලංගොඩ කස්සප හිමියන් කිංස්බරි හෝටලයේ රැඳී සිටි සිද්ධිය සම්බන්ධයෙන් අදාළ හිමියන්ගෙන්ම විමසිය යුතු කරුණක් බව උලපනේ සුමංගල හිමි පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පල කළේ, අද (26) කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරයි.

සත්‍යග්‍රහය පැවැත්වූ විහාරමහාදේවී උද්‍යානයට විවිධ ප්‍රදේශවලින් පිරිස් පැමිණි බවත්, බලංගොඩ කස්සප හිමියන් ද එහි දීර්ඝ කාලයක් රැඳී සිටි අයෙකු බවත් උන්වහන්සේ කියා සිටියා.

සත්‍යග්‍රහය සංවිධානය කිරීමට සම්බන්ධ වූ විවිධ භික්ෂූන් වහන්සේලාට වෙනත් ආගමික හා පෞද්ගලික කටයුතු සඳහා ද සහභාගී වීමට සිදුවූ බවත්, ඒ හේතුවෙන් අදාළ සමාජ මාධ්‍ය ප්‍රචාර පිළිබඳව විශේෂයෙන් කලබල විය යුතු නැති බවත් පෙන්වා දුන්නා.

සත්‍යග්‍රහයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳ තීරණය කළ යුත්තේ එය සංවිධානය කළ පාර්ශ්වය මිස ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් නොවන බවද උන්වහන්සේ සඳහන් කළා.

පාගමනක් සහ සත්‍යග්‍රහයක් යනු එකිනෙකට වෙනස් ක්‍රියාමාර්ග දෙකක් බව පෙන්වා දුන් උලපනේ සුමංගල හිමි, සත්‍යග්‍රහයක් සඳහා විශාල පිරිසක් අවශ්‍ය නොවන බව ද සඳහන් කළා.

ආණ්ඩුවට හෝ නිරාගමික පාර්ශ්වවලට අවශ්‍ය ආකාරයට නොව, තමන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාමාර්ග තෝරාගන්නා බවත්, ඒවායේ සාර්ථකත්වය තීරණය කරන්නේ සැලසුම් සහගතව හා උපායමාර්ගිකව බවත් උන්වහන්සේ පැවසුවා.

එමෙන්ම ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ බලා සිටින ලෙස ද උන්වහන්සේ සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *