රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්රා මිල දී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරයි. නඩුවේ විත්ති වාචකය ලබන 29 වැනිදා කැඳවීමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය නියෝග කරයි. ප්රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගය සඳහා ඊයේ (26) කැඳවනු ලැබීය. පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ සාක්ෂි සම්බන්ධයෙන් විත්තිය ප්රමාණවත් කරුණු සනාථ කිරීමක් (ප්රතිවිරෝධතා) සිදු නොකළ බවත්, එබැවින් විත්ති වාචකය කැඳවීමට තීරණය කළ බවත් කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (26) අවධාරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය සමඟ ජ්යෙෂ්ඨ අධිනීතිඥ කලන කොතලාවල මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජනාධිපති නීතිඥ ප්රියන්ත නාවාන හා ජනාධිපති නීතිඥ අනුජ ප්රේමරත්න මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
හියුමන් ඉමියුනොග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්රව්ය කුප්පි 6,195ක් සෞඛ්ය අමාත්යාංශයේ වෛද්ය සැපයුම් අංශයට සපයා ශ්රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනකු හා නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්රනාන්දු, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්ය කපිල වික්රමනායක, වෛද්ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරි නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත, වෛද්ය සැපයුම් ඒකකයේ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්රසම්පාදන ක්රියාවලියේ ප්රසම්පාදන කමිටු සාමාජික වෛද්ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක, වෛද්ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැත්වූ මහේස්ත්රාත් අධිකරණ නඩුවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් දස දෙනකු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර, පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන එම සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්රනාන්දු මේ වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, දහවැනි සැකකරු වන වෛද්ය ජයනාත් බුත්පිටිය විදේශගතව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්රාත් අධිකරණය විසින් ජාත්යන්තර රතු නිවේදන නිකුත් කර තිබිණි.
2023 ඔක්තෝබර් මස අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලිවලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය.
එලෙස මහේස්ත්රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වැනි දින විමර්ශනයන්හි උධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, ඒ අනුව නීතිපතිවරයා විසින් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්ර භාර දීම සිදු කළේය. ඉන් අනතුරුව අද දක්වා නඩුව දිනපතා විභාග කෙරිණි.