අයිස්, හෙරොයින් සහ කොකේන් මත්ද්රව්ය ග්රෑම් පහකට වැඩි ප්රමාණයක් ළඟ තබා ගැනීම, සන්තකයේ තබා ගැනීම, වෙළෙඳාම, ජාවාරම හෝ නිෂ්පාදනය සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව වරදකරු වන පුද්ගලයන්ට හිමිවන මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව කොළඹ විජේරාම මාවතේ පිහිටි ජාතික මෙහෙයුම් ප්රධාන කාර්යාලයේ පැවති දැනුම්වත් කිරීමට ඊයේ (29) පැවති මාධ්ය හමුවේදී ඒ මහතා ඒ බව පැවසීය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර අදට (30) වසරක කාලයක් ගතව ඇත.
“වසර දෙකක කාලයේ හෙරොයින් කිලෝග්රෑම් 4,483ක්, අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 7,129ක්, ගංජා කිලෝග්රෑම් 33,277ක් සහ කොකේන් කිලෝග්රෑම් 333ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියන 107.942ක් ද, අයිස් මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 121.64ක්. ගංජා තොගයේ වටිනාකම රුපියල් බිලියන 5.293ක් ද, කොකේන් තොගයේ වටිනාකම රුපියල් බිලියන 14.306ක්.
2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුමට වසරක් සපිරෙන විට එම මෙහෙයුම යටතේ හෙරොයින් කිලෝග්රෑම් 2,835යි ග්රෑම් 682ක්, අයිස් කිලෝග්රෑම් 3,550යි ග්රෑම් 750ක්, කොකේන් කිලෝග්රෑම් 297යි ග්රෑම් 135ක් සහ ගංජා කිලෝග්රෑම් 11,167යි ග්රෑම් 569ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වසරක කාලයේ විවිධ අපරාධවලට ඍජුව සම්බන්ධ පුද්ගලයන් 5,743 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒකෙන් සැකකරුවන් 450කට එරෙහිව නීතිවිරෝධි වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.
රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවන් 112ක් රටවල් 13ක සැඟව සිටින බවට අපි හඳුනාගෙන තියෙනවා. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගනිමින් සිටිනවා.
2027 වසර වන විට එම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට ද අපි කටයුතු කරනවා.
මත්ද්රව්ය ජාවාරම් මඟින් නීතිවිරෝධිව මුදල් උපයන මේ අපරාධකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් ද පොලිසියේ විශේෂ කොට්ඨාස දෙකක් යටතේ පැය 24 පුරාම විමර්ශන කරනවා.
ඒ අනුව, 2024 වසරේදී රුපියල් මිලියන 1,490ක දේපළද, 2025 වසරේදී රුපියල් මිලියන 1,549ක දේපළද, 2026 වසරේ මේ දක්වා රුපියල් මිලියන 1,656ක දේපළද රජය සතු කර ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා. ඒ දේපළ අතරට රන් ආභරණ, ඉඩකඩම්, යානවාහන සහ මුදල් ඇතුළත් වෙනවා.
ශ්රී ලංකා නාවික හමුදා මාධ්ය ප්රකාශක කොමාන්ඩර් චමින්ද වළාකුළුගේ මහතා-
Òපසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්රව්ය තුරන් කිරීමේ මෙහෙයුම් මඟින් මේ වන විට රුපියල් බිලියන 109කට අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොග අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. මේ මෙහෙයුම් නාවික හමුදාව සමඟ ශ්රී ලංකා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්රව්ය නිවාරණ කාර්යාංශය සහ අනෙකුත් රාජ්ය ආයතන සමඟ සහසම්බන්ධ වී කටයුතු කරන ඒකාබද්ධ මෙහෙයුමක්. අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 109ක වටිනාකම කියන්නේ වාර්ෂිකව අය – වැයෙන් නාවික හමුදාවට ප්රාග්ධන සහ පුනරාවර්තන වියදම් ලෙස වෙන් කරන මුදලට ආසන්න අගයක්. මේ මත්ද්රව්ය තොග සමාජගත වීම වැළැක්වීම මඟින් ජාවාරම්කරුවන්ගේ ආයෝජන ඉවත් කර, අනාගත තරුණ පරපුර සහ මානව සම්පත ආරක්ෂා කර ගත හැකියි.
‘රටම එකට’ ජාතික වැඩසටහන ප්රධාන මාර්ග දෙකක් ඔස්සේ ක්රියාත්මකයි. එහිදී සැපයුම අඩාළ කිරීමට නාවික හමුදාව වෙරළාසන්නව, අනන්ය ආර්ථික කලාපයේ සහ ගැඹුරු මුහුදේ නෞකා හා යාත්රා යොදවා ජාත්යන්තර මත්ද්රව්ය ජාල හරහා මෙරටට එන මත්ද්රව්ය සැපයුම් අඩාළ කිරීමත්, ඉල්ලුම අඩාළ කිරීමට සෞඛ්ය අමාත්යාංශය හා අධ්යාපන අමාත්යාංශය හා එක්ව ජනතාව සහ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා පුනරුත්ථාපන කටයුතු කරනවා.
‘රටම එකට’ වැඩසටහන ආරම්භ කළදා සිට අත්අඩංගුවට ගත් මත්ද්රව්ය ප්රමාණය ලෙස හෙරොයින් ටොන් 2කට අධික ප්රමාණයක්, අයිස් ටොන් 2.6කට අධික ප්රමාණයක්, කොකේන් කිලෝග්රෑම් 256කට අධික ප්රමාණයක් හෂීස් කිලෝග්රෑම් 65කට අධික ප්රමාණයක් විදේශීය ගංජා කිලෝග්රෑම් 1548කට අධික ප්රමාණයක් ද මත්පෙති ටොන් 4කට අධික ප්රමාණයක් ද, බීඩි කොළ ටොන් 88කට අධික ප්රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2026 වසරේ ජනවාරි 01දා සිට මත්ද්රව්ය ප්රවාහනයට යොදාගත් බහුදින ධීවර යාත්රා 10ක්, විදේශීය යාත්රා 3ක් සහ අනෙකුත් යාත්රා 49ක් ඇතුළු මුළු යාත්රා 62ක් ද, දේශීය පුද්ගලයන් 337 දෙනෙකු සහ විදේශීය පුද්ගලයන් 11 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.Ó
ශ්රී ලංකා යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් වරුණ ගමගේ සහ ශ්රී ලංකා ගුවන් හමුදා මාධ්ය ප්රකාශක නලින් වැවකුඹුර මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.