විවිධ තරාතිරම්වල පුද්ගලියින් 500ක් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ෂණ අරඹයි – හිටපු දේශපාලඥයින් 60ක් ඒ අතර

හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තවත් විස්සකට ආසන්න පිරිසකගේ පරීක්ෂණ ලිපි ගොනු පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මෑතදී බාර දෙනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වත්කම් විමර්ශන කොට්ඨාශය පැවැත්වූ විමර්ශනවලදී හෙළි කරගත් සියලු තොරතුරු අල්ලස් කොමිසමට මෙසේ බාරදී ඇති බවයි.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් දේශපාලනඥයන් 55 දෙනෙකුට අධික පිරිසකට එරෙහිව සෘජුවම විමර්ශන මේ දිනවල පවත්වනු ලැබේ.

මෙයට අමතරව දිවයින පුරා විවිධ තරාතිරම්වල පුද්ගලයන් 500කට වැඩි පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක වෙයි. ඒ කණ්ඩායමට හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ 60කට ආසන්න පිරිසක්ද ඇතුළත් වෙති.

හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකුට එරෙහිව බලය අනිසි ලෙස භාවිතා කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සෘජු විමර්ශන පැවැත්වේ.

පසුගිය කාලසීමාවේදී කළ විමර්ශනවලට අනුව දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සමීපතමයන් (හිටපු අමාත්‍යවරුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් ඇතුළුව) රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු 19 දෙනෙක් පමණ අධිකරණය හමුවේ වරදකරුවන් වී දඬුවම් නියමවී සිටිති.

නව පනත් සංශෝධන මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්නම් ඉපයීම් පිළිබද විමර්ශන පැවැත්වීමට පූර්ණ බලතල ලැබී අැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *