ආදරය සොයන තනිකඩයින්ට ෆින්ලන්තයේ නොමිලේ සංචාරයක් – ශ්‍රි ලාංකිකයින්ටත් අවස්ථාව හිමි වෙයි

ෆින්ලන්තයේ නිල සංචාරක මණ්ඩලය වන ‘Visit Finland’ විසින් ලොව පුරා සිටින තනිකඩ තරුණ තරුණයින් වෙනුවෙන් සියලුම වියදම් සහිත විශේෂ සංචාරක පියවරක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව, ‘Finnish Dinner Date’ ලෙස නම් කර ඇති මෙම ප්‍රචාරණ වැඩසටහන මගින් තේරී පත්වන පිරිසට ෆින්ලන්තයේ ආහාර සංස්කෘතිය විඳගැනීමට මෙන්ම තම ආදර සහකාරිය හෝ සහකාරයා සොයා ගැනීමට ද අවස්ථාව හිමිවනු ඇති.

ෆින්ලන්තයේ පදිංචිකරුවන් නොවන, වයස අවුරුදු 18 ට වැඩි ලොව පුරා සිටින ඕනෑම තනිකඩ පුද්ගලයෙකුට (ශ්‍රී ලාංකිකයන් ඇතුළුව) මේ සඳහා අයදුම් කළ හැකියි.

ඒ අනුව, මුළු ලෝකයෙන්ම තනිකඩයින් 16 දෙනෙකු මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.

තේරී පත්වන අයට නොමිලේ ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර සහ විවිධ ක්‍රියාකාරකම් සඳහා වන සියලුම වියදම් හිමිවන අතර, 2027 පෙබරවාරි 09 සිට 19 දක්වා දින 10ක සංචාරයක් ලෙස හෙල්සින්කි (Helsinki) සහ ටැම්පරේ (Tampere) හිදී පැවැත්වෙනු ඇති.

එහිදී, හෙල්සින්කි සඳහා 8 දෙනෙකු සහ ටැම්පරේ සඳහා 8 දෙනෙකු ලෙස විදේශිකයින් තෝරා ගන්නා අතර, ඔවුන්ට ෆින්ලන්තයේ දේශීය තනිකඩයින් සමඟ එකතු වී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයන්ට එක්වීමට අවස්ථාව හිමිවන බවයි සංචාරක මණ්ඩලය සඳහන් කරන්නේ.

මෙම වැඩසටහන ෆින්ලන්තයේ ජනප්‍රිය ‘Sinkkukori’ (Single Basket) සංකල්පය පදනම් කරගෙන නිර්මාණය කර ඇති අතර, ෆින්ලන්ත සංස්කෘතිය විඳගනිමින් අලුත් සබඳතා ගොඩනඟා ගැනීමට කැමති ශ්‍රී ලාංකිකයන්ට Visit Finland නිල වෙබ් අඩවිය හරහා මෙයට අයදුම් කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *