හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති ග්‍රීක බැඳුම්කර නඩුවේ සාක්ෂි විමසීම ඊයේ (5) අවසන් විය. නඩුවේ පැමිණිලි හා විත්ති පාර්ශ්වයේ දේශන ලබන 30 දා පැවැත්වීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළේය.
මෙම නඩුව මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනේ.
2011 මාර්තු 11 වැනිදා සහ 2012 නොවැම්බර් 19 වැනිදා අතර කාලසීමාව තුළදී ආර්ථිකය බිඳ වැටී තිබූ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් 1,843,267,595.60ක පාඩුවක් කිරීමේ චෝදනාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
පැමිණිල්ලේ සාක්ෂි විමසීම අවසන්වීමෙන් පසු විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරව චුදිත නිදහස් කරන ලෙස කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තියේ සාක්ෂි කැඳවීමට නියෝග කළේය.
ඒ අනුව චුදිත සාක්ෂි කූඩුවට නැඟ දිවුරුම් දී සාක්ෂි දෙන ලදි. අනතුරුව පැමිණිල්ල විසින් ඔහුගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න විමසන ලදි. විත්තිය වෙනුවෙන් වෙනත් සාක්ෂි ඉදිරිපත් නොවීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය සමඟ කමණි ද සිල්වා සහ ගජලක්ෂ්මි සිවසුබ්‍රමනියම් යන මහත්මීහු පැමිණිල්ල මෙහෙයවූහ.
හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව පවරා ඇති මෙම නඩුව අල්ලස් කොමිසම ඉල්ලා අස්කරගත් නඩුවකි.
මෙම නඩුව මුලින් ගොනුකළ අවස්ථාවේ හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ ඉහළ නිලධාරීන් 5 දෙනකු චුදිතයන් ලෙස නම් කෙරිණි.
පසුගිය වසරේදී එහි පූර්ව නඩු විභාගය අතර අජිත් නිවාඩ් කබ්රාල් හැර සෙසු චුදිතයන්ට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් ඉවත්කර ගැනිණි.
ඉන්පසු ඔහුට රජයට පාඩුවූ රුපියල් කෝටි 184ක මුදල දඩයක් ලෙස ආපසු ගෙවීමට මාස 3ක කාලයක් ලබාදුනි.
චුදිත අදාළ කාලය තුළ එම මුදල ආපසු ගෙවීමට අපොහොසත්වීම නිසා ඔහුට එරෙහිව දූෂණ විරෝධි පනතේ 67(5) වගන්තිය යටතේ නැවත නඩු පැවරිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව, සුවිශේෂ වැදගත්කමක් ඇති නඩුකරයක් ලෙස සලකා මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කෙරිණි.
චෝදනා විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නම් කිරීමට එරෙහිව චුදිත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර පසුව එය 2026 වසරේ ඔක්තෝබර් 09දා ඉල්ලා අස්කර ගන්නා ලදි.