මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) කළමනාකාරිත්වය මහපොළ භාරකාර අරමුදලට නැවත පවරා ගැනීමේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවසීය.
ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව පසුගිය වසර දෙක පුරාම ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලූ බවත් ඒ අනුව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සහ සී.අයි.ඩී. ආයතනයන්ට පැමිණිලි යොමු කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
“2015 දී යහපාලන ආණ්ඩුව යටතේ ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් වැරදි ගිවිසුමක් ගසා තිබුණා. ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය නායකයා විදියට හිටියේ සජිත් මහතා. ස්ලිට් එක ගැන හොර ගිවිසුමක් ගසනවා. ඒ අනුව එකල සිටි ශ්‍රීපවන් අගවිනිසුරුවරයා සභාපති ධුරයෙන් පවා ඉවත් වෙනවා. වසර දෙකක් පුරාවට මහපොළ භාරකාර අරමුදල කැඳවන්නේ නැතිව තිබුණා. හිටපු අගවිනිසුරුවරයකු හෝ විගණකාධිපතිවරයකු යටතේ නැවත මේ අරමුදල කැඳවීමක් කර තිබුණා. පවරන වෙලාවේ ස්ලිට් ආයතනය රඳවා ගත් ලාභය 2005 සිට 2015 දක්වා රුපියල් මිලියන 1,068ක් තිබුණා. ඒ මුදල්වලින් මිලියන 408ක් මහපොළට ලබාදී මේ හොර ගිවිසුම ගැසුවා. ස්ලිට් යනු මහපොළ භාරකාර අරමුදලට මුදල් සැපයීම පමණක් නොව උසස් අධ්‍යාපන දරුවන්ට උදවු කිරීම සඳහා හැදූ අරමුදලක්. එහි මුදල් අවභාවිත කිරීම වැරදි කාරණාවක්. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහපොළ ශිෂ්‍යාධාරය සියයට සියයකින් ඉහළ නංවා රුපියල් 10,000ක් දක්වා මේ වන විට වැඩි කර තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පැමිණීමේදී මහපොළ ශිෂ්‍යාධාර ලෙස එක් සිසුවකුට ලබාදුන්නේ රුපියල් 5,000ක් පමණයි. ඒ මුදල රුපියල් 10,000ක් දක්වා වැඩි කර අපි අඛණ්ඩව මහපොළ ශිෂ්‍යාධාරය සිසුන්ට ලබාදෙනවා.”