ශ්‍රී ලංකාව තුල හියුමනොයිඩ් රොබෝවරු සිවිල් හා ආරක්ෂක කටයුතු සදහා යොදාගන්න සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකාව තුල හියුමනොයිඩ් රොබෝවරු වැඩිදියුණු කිරීම, සිවිල් සහ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදාගැනිම සම්බන්ධව මූලික වටයේ සාකච්ඡාවක්.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) හි සම්බන්ධීකරණයෙන්, අති නවීන රොබෝ තාක්ෂණික නිපැයුම් සිදුකරන, ප්‍රමුඛ ශ්‍රී ලාංකේය සමාගමක් වන Spera Lab (Pvt) Ltd. ආයතනය සහ මෙරට ආරක්ෂක අංශ (ත්‍රිවිධ හමුදාව) අතර මූලික වටයේ සාකච්ඡාවක් 2026.11.05 දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී, අනාගත ලෝක ආර්ථිකය හා සමාජය තුළ අති නවීන රොබෝ තාක්ෂණය හිමිකර ගැනීමට නියමිත වැදගත් ස්ථානය මෙන්ම, එවැනි නවීන තාක්ෂණයන් ශ්‍රී ලංකාව තුළ විවිධ ක්ෂේත්‍ර සඳහා ඵලදායී ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම, පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීම හා ඉවත් කිරීම වැනි ජාතික ආරක්ෂාව සහ සිවිල් කටයුතු සඳහා Spera Lab ආයතනය විසින් නිර්මාණය කරන ලද ද්විපාද මානවරූපී රොබෝවරුන් (Bipedal Humanoid Robots) යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඔස්සේ මෙම රොබෝවරු තවදුරටත් වැඩිදියුණු කිරීම සහ වාණිජකරණය සඳහා ඉදිරියේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ NIRDC එක්ව ලබාදිය හැකි සහයෝගය හා දායකත්වය පිළිබඳව ද අදහස් හුවමාරු කරගන්නා ලදී.

මෙම සාකච්ඡාව සඳහා Spera Lab ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සහන් යාපා මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද, ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CDRD) අධ්‍යක්ෂ ජනරාල් කොමදෝරු එම්.සී.පී. දිසානායක මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පිරිසක් ද, NIRDCහි අධ්‍යක්ෂ ජනරාල් ටී.එම්.ජේ. බණ්ඩාර මහතා ඇතුළු එහි නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *