ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව හා ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ප්‍රමිතියට යටත් නොවන කිසිදු ආනයනික භාණ්ඩයක් හෝ ආහාර ද්‍රව්‍යයක් නිදහස් කිරීමට කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් අනුමත නොකරන ලද කිසිදු ද්‍රව්‍යයක් නිදහස් නොකිරීම පවත්වාගෙන යා යුතු සම්ප්රදාය වන අතර, ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රඳවා ගැනීම රේගුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම්දීම වෙනුවෙන් ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අඩංගු කන්ටේනර් 120ක් සම්බන්ධයෙන් අවශ්‍ය නම් වාර්තා ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. ප්‍රමිතියට යටත් නොවන කන්ටේනර් ගණනාවක් පවතින බැවින් ඒවා නිදහස් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. ආනයනකරුවන් වියළි මිරිස් ආනයනයේදී පිරිවැය සහ මිල ගණන් ඉහළ යෑම සම්බන්ධයෙන් කරුණු දැක්වුවද, වෙනත් හේතු මත ප්‍රමිතියෙන් තොර දේවල් නිදහස් කළ නොහැකියි.
සමහර භාණ්ඩවල ආනයනික බදු අඩු කිරීමේදී පාරිභෝගිකයාට සහනයක් ලබාදෙන අතරම, දේශීය ගොවියා සහ නිෂ්පාදකයා පිළිබඳවද රජය අනිවාර්යයෙන්ම සැලකිලිමත් වනවා. ගොවිතැනින් සිය ජීවිකාව සරි කරගන්නා ජනතාවගේ ආර්ථිකයට හානි වන ලෙස බදු පැනවීමට රජය සූදානම් නැහැ. දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරගනිමින් ඇතැම් ක්ෂේත්‍ර සඳහා සහන ලබාදීමට රජය අවධානය යොමු කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් ක්ෂේත්රයේ වැටලීම් ගණනාවක් සිදුකර තිබෙනවා. මාධ්‍ය මඟින් ඒ සියල්ල අනාවරණය නොවුණද පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් එම වැටලීම් නිරන්තරයෙන් සිදුවනවා.”