නාමල්ගේ එයාර්බස් නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී ඇරඹීමත් සමග කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව අවසන් කරයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබු නඩු කටයුත්ත අවසන් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ බැවින් මෙම අධිකරණයෙන් එම නඩු කටයුත්ත අවසන් කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වනවිටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර තිබෙන බවද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ මෙම සිද්ධියට අදාළව මේ වනවිට අල්ලස් කොමිසම විසින් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් මෙම නඩු කටයුත්ත මෙම අධිකරණය අවසන් කරන ලෙසයි.

මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විටත් මියගොස් ඇති බවත් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.

මෙහි ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන්න සැකකරුවන් දෙදෙනාට මේ වන විට විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එම සිද්ධියට අදාල සිව්වන සැකකරුවන නාමල් රාජපක්ෂ මේ සිද්ධිය සම්බන්ධයෙන් හෙට (19) දිනය දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට මහාධිකරණය නියෝග කර ඇති බවද විමර්ශන නිලධාරියා අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම නඩුකරය මෙම අධිකරණයෙන් අවසන් කරන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කරන බවට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව ඇප ලබා සිටින සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් භාරයේ අද (18) අධිකරණයට ඉදිරිපත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *