රත්නපුර නගරයේ සිඟමන් යැද ජීවත් වන පුද්ගලයකු ඔහු සිඟමන් යැද ඉපයූ මුදලින් ඊයේ (24) කලවාන මූලික රෝහලට රුපියල් විසිහත්දහසක් වටිනා රෝද පුටුවක් පරිත්‍යාග කිරීමක් සිදු කෙරිණි.
රත්නපුර නගරයේ ඔසුසල අසල සිඟමන් යදින මෙම පුද්ගලයා නමින් එච්. සුනිල්ය. ඔහු සමඟ එකට ජීවත් වූ සිය බිරිය වන මුනි අම්මා මියගොස් ඇති අතර ඒ වෙනුවෙන් ඔහු මෙලෙස රෝද පුටුවක් පරිත්‍යාග කළේය. මොහු රත්නපුර නගරයේ කලක් කරත්තයකින් බඩු ඇද මුදලක් සොයා ජීවත්ව ඇති අතර වයසට යෑමේදී රැකියාව කිරීමට නොහැකි වීම හේතුවෙන් රත්නපුර නගරයේ ඔසුසල අසල සිඟමන් යදී. ඔවුන් දෙපොළට ළමයින් නොමැති අතර ඔහුත් සමඟ සිඟමන් යදිමින් සිටි ඔහුගේ බිරිය වන මුනි අම්මා රෝගාතුරව අනාථ නිවාසයක සිටියදී මියගොස් තිබේ. ඇයට දැඩි ලෙස ආදරය දැක්වූ සුනිල් ඉන් අනතුරුව සිඟමන් යැදීමෙන් ලැබෙන සුළු මුදල එකතු කරගනිමින් මුනි අම්මා වෙනුවෙන් විවිධ පුණ්‍ය කටයුතු සිදු කර තිබේ. ඒ අතර රත්නපුර බස් නැවතුම්පොළෙහි ඔරලෝසු සවි කිරීම, පිරිකර පූජා කිරීමද විශේෂිතය.
පසුව නගරයට පැමිණෙන ජනතාවගේ පිපාසය නිවීමට සිය බිරියට පින් පිණිස පින්තාලියක් ඉදිකිරීම සඳහා මුදල් එකතු කරගෙන සිට ඇති අතර මත්ලෝලීන් පිරිසක් ඔහුව ත්‍රිරෝද රථයක නංවාගෙන ගොස් එකතු කළ රුපියල් තිස්අටදහසක පමණ මුදලක් කොල්ලකා අතරමඟ දමා යන්නේ ඔහුගේ හිසට බරපතළ ලෙස පහරදී බව සුනිල් පැවසීය.
පසුව රෝහල්ගත කර සුව වී යළිත් සිඟමන් යදින ඔහු සිය බිරිය වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරීම සඳහා මුදල් එකතු කර ඔහු සිඟමන් යදින ස්ථානයේ ඔසුසල වෙත ලබා දෙන්නේ මුදලේ ආරක්ෂාව සඳහා බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව එම එකතු වූ මුදලින් සිය බිරියට පින් පිණිස කලවාන මූලික රෝහල වෙත රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට කටයුතු කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එච්. සුනිල් මහතා
“මේ රෝද පුටුව මම මිල දී ගත්තේ රුපියල දෙක, පහ, දහය වගේ ලැබෙන මුදල් එකතු කරලා. මම හරියට කන්නෙවත් නැතිව මේ දේ කළේ. මට හරි සතුටුයි. මම අද ඒ රෝද පුටුව කලවාන රෝහලට මගේ බිරිය වෙනුවෙන් පරිත්‍යාග කළා. මම මුනි අම්මට ගොඩක් ආදරය කළා.
ඇය මාව දාලා සදහටම මෙලොවින් යන්න ගියා. දාන උයලා දෙන්න මට විදිහක් නැහැ පාරේ ඉන්න නිසා. ඒ නිසා මේ වගේ දේවල් මම ඇය වෙනුවෙන් කරනවා. ආයේ මම මේ රස්සාව කරන්නේ නැහැ. කොහේ හරි පන්සලකට හරි නිවාසයකට හරි යන්න බලාපොරොත්තු වෙනවා.”
මේ අවස්ථාවට කලවාන මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි සුසිල් කුමාර, කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් ගමගෙදර මහත්වරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහභාගි වී සිටියහ. ඔසුසලේ ලසන්ත කුමාර මහතා ඇතුළු පිරිස රෝද පුටුව රත්නපුර ප්‍රදේශයේ සිට කලවාන මූලික රෝහල වෙත රැගෙනවිත් පරිත්‍යාග කිරීමට සහයෝගය දැක්වූහ.