2026 මාස 10ට ඩොලර් බිලියන 15.8ක අපනයන ආදායමක් වාර්තා කරයි – 2022 ආර්ථික අර්බුදයෙන් වැඩිම අපනයනය ආදායම එයයි

2026 වසරේ පළමු මාස දහය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම (වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයන ඇතුළත්ව) පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.03ක වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 15.28ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. 2025 වසරේ අදාළ කාලසීමාව තුළ මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.41ක් ලෙස වාර්තා වී තිබූ අතර, වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශ දෙකෙහිම සිදු වූ වර්ධනය මෙම සාර්ථකත්වයට හේතු වී ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද නවතම අපනයන කාර්යසාධන දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන අපනයන සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුවලට අනුව, 2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 5.72කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 12.01ක් ලෙස සටහන් විය. 2025 වසරේ අදාළ කාලය තුළ එය අමෙරිකානු ඩොලර් බිලියන 11.36ක් විය. මේ අතර, සේවා අපනයන ආදායම පසුගිය වසරේ එම කාලයේ පැවති අමෙරිකානු ඩොලර් බිලියන 3.05 සිට සියයට 7.20කින් වර්ධනය වී අමෙරිකානු ඩොලර් බිලියන 3.27ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2026 ඔක්තෝබර් මාසයේදී පමණක් ශ්‍රී ලංකාව සුවිශේෂී අපනයන වර්ධනයක් අත්කර ගෙන ඇති අතර, එම මාසයේ සමස්ත අපනයන ආදායම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවති අමෙරිකානු ඩොලර් බිලියන 1.45ට සාපේක්ෂව සියයට 11.57ක වර්ධනයක් සමඟින් අමෙරිකානු ඩොලර් බිලියන 1.62ක් දක්වා ඉහළ ගොස් ඇත. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයනය සියයට 9.65කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 1.26ක් වූ අතර, සේවා අපනයනය සියයට 18.87ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 360.21ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අපනයන කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව ශක්තිමත් බව සහ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන බවයි. 2030 වසර වන විට වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 36 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන වන බව ද ඒ මහතා අවධාරණය කළේය.

2026 ඔක්තෝබර් මාසයේ ප්‍රධාන අපනයන කාර්යසාධනය සැලකීමේදී, කුළුබඩු, සගන්ධ තෙල් සහ ඔලියොරෙසින් අපනයනය සියයට 76.90කින් වර්ධනය වී අමෙරිකානු ඩොලර් මිලියන 67.91ක් උපයා ඇති අතර, ගම්මිරිස් අපනයනය සියයට 292.54කින් සහ කුරුඳු අපනයනය සියයට 35.12කින් ඉහළ ගොස් තිබේ. රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සියයට 24.80කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 99.99ක් ද, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග සියයට 47.78කින් වර්ධනය වී ඩොලර් මිලියන 57.28ක් ද උපයා ඇත. මීට අමතරව පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සියයට 29.61කින්, මුහුදු ආහාර සියයට 20.70කින්, විසිතුරු මසුන් සියයට 49.38කින් සහ ආහාර පාන අපනයනය සියයට 5.56කින් වර්ධනය වී තිබේ. සේවා අපනයන අංශයේදී ප්‍රවාහන හා සැපයුම් සේවා සියයට 24.72කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 197.87ක් ලෙස සමස්ත සේවා අපනයනයෙන් සියයට 55කට දායක වී ඇති අතර, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM) සේවා අපනයනය සියයට 10.66කින් වර්ධනය වී ඩොලර් මිලියන 148.33ක් උපයා ඇත.

කෙසේ වෙතත්, 2026 ඔක්තෝබර් මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය සියයට 3.82කින් පහත වැටී ඩොලර් මිලියන 412.78ක් වූ අතර, මැදපෙරදිග කලාපයේ ඉල්ලුම අඩුවීම හේතුවෙන් තේ අපනයනය සියයට 6.22කින් පහත වැටී ඩොලර් මිලියන 118.68ක් ලෙස වාර්තා විය. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද ඔක්තෝබර් මාසයේදී සියයට 9.72කින් පහත වැටී ඇත.

2026 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස 10ක සමුච්චිත කාලසීමාව සැලකීමේදී, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනය සියයට 59.60ක ඉහළම වර්ධනයක් වාර්තා කරමින් ඩොලර් මිලියන 566.14ක් උපයා ඇති අතර, කුළුබඩු සියයට 35.35කින් (ඩොලර් මිලියන 498.43), සැකසූ ආහාර පාන සියයට 18.93කින් (ඩොලර් මිලියන 594.52), රබර් ආශ්‍රිත නිෂ්පාදන සියයට 10.10කින් (ඩොලර් මිලියන 873.85) සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සියයට 2.07කින් (ඩොලර් මිලියන 1,054.43) වර්ධනය වී තිබේ. තොරතුරු තාක්ෂණ (ICT/BPM) සේවා අපනයනය මුල් මාස 10 තුළ සියයට 6.37කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 1,415.37ක් වූ නමුත්, ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය සියයට 5.50කින් (ඩොලර් මිලියන 4,196.56) සහ තේ අපනයනය සියයට 6.77කින් (ඩොලර් මිලියන 1,202.26) පසුබෑමකට ලක්ව ඇත.

අපනයන වෙළෙඳපොළ අනුව සැලකීමේදී, සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 21ක් නියෝජනය කරන අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගමනාන්තය ලෙස තවදුරටත් පසුවන අතර, මුල් මාස 10 තුළ එරටට සිදු කළ අපනයන සියයට 0.81කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 2,518.31ක් විය. එක්සත් රාජධානිය අභිබවා යමින් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත්ව ඇති අතර, මුල් මාස 10 තුළ ඉන්දියාවට සිදු කළ අපනයන සියයට 14.16කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 989.66ක් ලෙස සටහන් විය. එක්සත් රාජධානියට සිදු කළ අපනයන සියයට 8.67කින් පහත වැටී ඩොලර් මිලියන 723.40ක් වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිදු කළ අපනයන සියයට 13.02කින් අඩු වී තිබේ.

මේ අතර තුර්කියට සිදු කළ අපනයන සියයට 84.93කින් (ඩොලර් මිලියන 239.30) සහ චීනයට සිදු කළ අපනයන සියයට 16.24කින් (ඩොලර් මිලියන 261.31) සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. එමෙන්ම නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTA) හවුල්කරුවන් වන ඉන්දියාවට සහ පාකිස්තානයට මුල් මාස 10 තුළ සිදු කළ ඒකාබද්ධ අපනයන සියයට 15.84කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 1,077.79ක් වූ අතර, පාකිස්තානයට සිදු කළ අපනයන පමණක් සියයට 38.83කින් වර්ධනය වී ඩොලර් මිලියන 88.13ක් ලෙස වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, මෙරට සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 21.57ක් නියෝජනය කරන යුරෝපා සංගමය (EU) වෙත සිදු කළ අපනයන මුල් මාස 10 තුළ සියයට 0.85කින් සුළු වශයෙන් පහත වැටී අමෙරිකානු ඩොලර් මිලියන 2,591.36ක් ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *