උතුරේ දෙමළ මවකට තමන්ට අහිමි වූ දරුවා සිහිකර පහනක් දල්වන්නට අයිතියක් තිබේ – හිටපු අධිකරණ ඇමති අලි සබ්‍රි

උතුරේ දෙමළ මවකට තමන්ට අහිමි වූ දරුවා සිහි කර පහනක් දල්වන්නට අයිතියක් ඇති බවත්, ඊට ඇය තම දේශපාලන මතය කිසිවකුට පැහැදිලි කළ යුතු නැති බවත් නීතිඥ අලි සබ්රි පවසනවා.

සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් නීතිඥ අලි සබ්රි මේ බව සඳහන් කර තිබේ.

එලෙස දල්වන පහන ළඟ ඇයට තම දරුවා සිහි කරන්නට ඉඩ දෙන ලෙසත්, තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් ඒ මවගේ දුක වේදිකාවකට ගෙන නොඑන ලෙසත්, ඔහු සිය සටහනින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වූ, වීඩියෝවක් සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයා සිය සටහනින් අදහස් දක්වා තිබේ.

උපුටාගැනීමයි ;

”එක මවකගෙ දරු කැල බැවිනා

විදේශයක පැවැත්වෙන උත්සවයක කතා අවසන් වූ විට කවුරුත් ගෙදර යති. එහෙත් ඒ වේදිකාවේ කියූ වචනවල ප්‍රතිවිපාක සමඟ ජීවත් වන්නට සිදුවන්නේ මෙහි සිටින අපටය. හෙට උදෑසනත් දෙමළ දරුවකු සහ සිංහල දරුවකු එකම පන්ති කාමරයක එක ළඟ වාඩි වනු ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කළ අය ඒ දරුවන් දෙදෙනා ගැන මොහොතකටවත් සිතුවාදැයි මට සිතේ.

උතුරේ දෙමළ මවකට තමන්ට අහිමි වූ දරුවා සිහි කර පහනක් දල්වන්නට අයිතියක් තිබේ. ඒ පහන දල්වන්නට ඇය තම දේශපාලන මතය කිසිවකුට පැහැදිලි කළ යුතු නැත. ඇය වෙනුවෙන් කතා කරන බව කියන අයටත් ඇය වෙනුවෙන් කළ හැකි යමක් තිබේ. ඒ පහන ළඟ ඇයට තම දරුවා සිහි කරන්නට ඉඩ දෙන්න. තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් ඒ මවගේ දුක වේදිකාවකට ගෙන නොඑන්න.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය ගැන අප අතර මතභේද තිබිය හැකිය. ඔහු ගත් තීරණ විවේචනය කිරීමට ඕනෑම කෙනකුට අයිතියක් තිබේ. 2009 මැයි මාසයේදී බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට ඔහු රටට දුන් නායකත්වය මම අදත් කෘතවේදීව සිහි කරමි. ඒ ගැන මට වඩා වෙනස් මතයක් දරන කෙනකුගෙන් වුවත් මා අසන්නේ මෙපමණකි. වියපත් මිනිසකුට තවත් කෙනකුගේ අතේ වාරුව අවශ්‍ය වන මොහොතක් සමච්චලයට ලක් කිරීමෙන් මෙරට එකම දෙමළ පවුලකටවත් සැලසෙන සෙත කුමක්ද?

යුද්ධය නිසා අපේ රට ගෙවූ මිල අතිමහත්ය. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 28,619 දෙනෙක් රට වෙනුවෙන් දිවි පිදූහ.

ඇස්තමේන්තු අනුව යුද්ධය පුරා එල්ටීටීඊ සාමාජිකයෝ 23,000කට වැඩි පිරිසක් මිය ගියහ. සියලු ජන කොටස්වල අහිංසක සිවිල් වැසියන්ට ජීවිත අහිමි විය. රට වෙනුවෙන් දිවි දුන් සෙබළකුගේ මව ළඟ හිඳින අපට, තම දරුවාට සිදු වූයේ කුමක්දැයි අදත් නොදන්නා මවක ළඟ හිඳ ඇයටත් සවන් දෙන්නට හැකි විය යුතුය.

වෙඩි හඬ නිහඬ වූ පසු අප කළ දේත් සිහි කරමු. පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්තා අනුව හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 12,196 දෙනෙක් පුනරුත්ථාපනය අවසන් කර යළි සමාජයට එක් වූහ. ඔවුන්ගෙන් පළිගැනීම කෙසේ වෙතත්, එල්ටීටීඊ සාමාජිකයකු වූ පමණින් ඒ සෑම කෙනකුටම නඩු පැවරීමටවත් රටක් වශයෙන් අපි කටයුතු නොකළෙමු. ඔවුන්ට තම පවුල් වෙත ආපසු ගොස් ජීවිතය අලුතින් අරඹන්නට මඟක් විවර කළෙමු. පළිගැනීමට ඉඩ තිබූ තැන අප තෝරාගත්තේ මෛත්‍රියයි.

එල්ටීටීඊය විසින් බඳවාගෙන සිටි දරුවන් 594 දෙනකුට යළි තම පවුල් වෙත යන්නට ලැබිණි. ඔවුන්ගෙන් ඇතැමෙක් පසුව පාසල් විභාගවලට ද පෙනී සිටියහ. එල්ටීටීඊ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ අවම වශයෙන් 26 දෙනකුට ජනාධිපති සමාව ද හිමි විය. මහ බැංකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් වසර 200ක සිරදඬුවමක් නියම වූ අයකු ද ඒ අතර විය. සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෞරවාන්විතව ගත් මේ තීරණ ද අපේ ඉතිහාසයට අයත්ය. අපේ රටටත් අපේ ආරක්ෂක හමුදාවන්ටත් පොදුවේ චෝදනා එල්ල කරන විට මේ කරුණු ද සිහිපත් කළ යුතුය.

2009 මැයි මාසයේදී ශ්‍රී ලංකාව ජයගත්තා යැයි මා කියන විට මට සිහි වන්නේ තම දරුවාගේ ගෙලට සයනයිඩ් කරලක් පලඳවනු ඇතැයි කලක් බියෙන් සිටි දෙමළ මවකි. ඒ දරුවා පෑනක් අතට ගෙන විභාගයකට සූදානම් වන අයුරු දකිද්දී ඇයට දැනුණු සැනසිල්ල ගැන සිතන්න. දියණිය ගෙදර එන්නට පමා වූ විට “බස් එක පරක්කු ඇති” යැයි සිතා හිත හදාගන්නට යළි හැකි වූ කොළඹ මව ගැනත් සිතන්න. අප සැමට අයත් ජයග්‍රහණය කුමක්දැයි ඒ මවුවරුන් දෙදෙනාගේ සැනසිල්ලෙන් වටහාගත හැකිය.

වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. අපට රැකවරණය අවශ්‍යම වූ මොහොතේ අප රැක දුන් අය වෙනුවෙන් අපි පෙනී සිටිමු. සෑම පවුලකටම තමන්ට අහිමි වූවන් ගෞරවයෙන් සිහි කරන්නට ඉඩ දෙමු. මෙරට සිටියත් විදේශයක සිටියත්, අපේ ජනතාව වෙනුවෙන් කතා කරන්නට පෙර අපි අපෙන්ම එක ප්‍රශ්නයක් අසමු.

හෙට ඒ පන්ති කාමරයේ එක ළඟ වාඩි වන දරුවන් දෙදෙනාට මිතුරන් ලෙස හැදී වැඩෙන්නට අද මගේ වචන උදව් වේවිද?”

උපුටාගැනීම අවසන්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *