වැලිමඩ දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ සහ අවදානම් ප්‍රදේශවල සිටින අයට අංග සම්පූර්ණ ගම්මානයක් ඉදි කිරිම හෙට ඇරඹෙයි

දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් කලාපවල ජීවත් වන වැලිමඩ වැවිලි ප්‍රජාවේ පවුල් 170ක් වෙනුවෙන් රුපියල් මිලියන 850ක වියදමින් අංගසම්පූර්ණ නව ගම්මානයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය නොවැම්බර් 06 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අබරගල වත්තේදී මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සහ මුල්ගල් තැබීම සිදුකෙරෙන අතර, ඒ සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

මෙම වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභී පවුලක් සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව නිවාස 170 ඉදිකිරීම සඳහා රජය විසින් වෙන්කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 850කි.

අදාළ මුදල් ප්‍රතිලාභීන් වෙත අදියර තුනක් යටතේ ලබාදීමට නියමිත අතර, පළමු අදියරේදී රුපියල් ලක්ෂ 20ක් ද, දෙවැනි සහ තෙවැනි අදියරවලදී රුපියල් ලක්ෂ 15 බැගින් ද ලබාදීමට සැලසුම් කර ඇත.

මෙම නිවාස 170ම එකම භූමි ප්‍රදේශයක සැලසුම් සහගතව ඉදිකිරීමට නියමිත අතර, ඒ සඳහා හෙක්ටයාර පහක භූමි ප්‍රමාණයක් වෙන්කර තිබේ. එක් පවුලක් වෙනුවෙන් පර්චස් 10ක භූමි ප්‍රමාණයක් ලබාදීමට ද කටයුතු යොදා ඇත.

නිවාස ඉදිකිරීමට අමතරව මෙම භූමිය තුළ සියලුම පවුල්වලට ප්‍රයෝජනයට ගත හැකි පොදු පහසුකම් සහිත සංවිධානාත්මක ගම්මානයක් නිර්මාණය කිරීම ද ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

ඒ අනුව නව ගම්මානය තුළ ප්‍රජාශාලාවක් සහ ක්‍රීඩා භූමියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ගම්මානයට අවශ්‍ය මාර්ග, පානීය ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ද සපයා දීමට නියමිතය.

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ මෙන්ම නායයෑම් ඇතුළු විවිධ අවදානම්වලට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත් වන පවුල් සඳහා සුරක්ෂිත නිවාස ලබාදීමේ රජයේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව වැලිමඩ වැවිලි ප්‍රජාවේ පවුල් 170කට නිවාස අයිතිය සහිතව නව ගම්මානයක පදිංචි වීමට අවස්ථාව සැලසීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *