කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට මරණ තර්ජන – CID ය විමර්ශන අරඹයි

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ මෙම විමර්ශනයට අදාළව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගෙන් ඊයේ (29) ප්‍රකාශයක් සටහන් කරගනු ලැබීය.

තමන්ට මරණ තර්ජන ඇති බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබුණු ලිපියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පොලිස්පතිවරයාට කළ දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාද දැනුවත් කර ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

තමන්ට මරණ තර්ජන ඇති බවට ලැබුණු ලිපිය පදනම් කරගනිමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් යූටියුබ් (YouTube) නාළිකාවක පළවීම සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශන සිදුකරන අතර, ඊට අදාළවද ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය සඳහන් කළේය.

එම තොරතුරු පළ කළ යූටියුබ් නාළිකාව සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති අතර, එහි බලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ ආරක්ෂාව තර කිරීමටද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *