සිරදඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් බන්ධනාගාරයට නියෝග කිරීමේ බලයක් මහාධිකරණයට නොමැති බව කොළඹ මහාධිකරණය ඊයේ (6) දැනුම් දුන්නේය.
වරෙන්තු නියමව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අවස්ථාවේ චූදිතගේ නීතිඥයන් කළ කරුණු දැක්වීමකට අවධානය යොමු කරමින් අධිකරණය මේ බව දැනුම් දුන්නේය. අධිකරණය මඟින් දඬුවම් නියමව බන්ධනාගාරගත කර සිටින රැඳවුම්කරුවකු වන චුදිතට ගිහි ඇඳුම් ඇන්දවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමේ හැකියාව තිබෙන බව මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්රී රාගල මහතා ප්රකාශ කළේය.
2014 වසරේ කොම්පඤ්ඤවීදියේ පැවති මාධ්ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්රකාශයක් කිරීමේ චෝදනාව යටතේ පවරන ලද නඩුවට පෙනී නොසිටීම නිසා කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමියන්ට වරෙන්තු නියම කෙරිණි.
විත්තිකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෝසමක් මාර්ගයෙන් නඩුව ඊයේ (6) කැඳවන ලදි.
එහිදී චුදිතගේ නීතිඥයන් කරුණු දක්වමින් සිය සේවාදායකයා අධිකරණය මඟ නොහැරිය බවත්, දැඩි මානසික පීඩනය හේතුවෙන් ආරණ්යයකට ගොස් භාවනායෝගීව සිටි බවත් කියා සිටියේය.
විත්තිකරු සිරදඬුවම ක්රියාත්මක කිරීම සඳහා බන්ධනාගාරයට ගෙන යෑමෙන් පසු එහිදී ගිහි ඇඳුම් අන්දවා ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.
උපසම්පදා වූ භික්ෂුවක් සිවුරු හැර උපවැදි කිරීමේ හැකියාවක් ඇත්තේ අදාළ නිකායේ මහනායක හිමියන්ට පමණක් බව පෙන්වා දුන් විත්තියේ නීතිඥයන්, බන්ධනාගාර රෙගුලාසි අනුව ද පෙර ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් ඇඳීමේ අයිතියක් රැඳවුම්කරුවකුට තිබෙන බව කියා සිටියේය.
තව ද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ 9 වැනි වගන්තිය අනුව බුද්ධාගමට ප්රමුඛස්ථානය ලබා දී ඇති බව පෙන්වා දීම සිදුවිය.
විත්තිකරු මෙයට පෙර සිරගතව සිටි අවස්ථාවලදී ගිහි ඇඳුම් ඇන්දවීමක් සිදුව නැති බැවින්, ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස විත්තිය ඉල්ලා සිටියේය.
ඒ සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව කනගාටු වන බව ප්රකාශ කළ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්රී රාගල මහතා, විනිශ්චයාසනයේ සිටින විට නියෝග දිය හැක්කේ ආගමික හේතු මත නොව නෛතික ප්රතිපාදන අනුව බව කියා සිටියේය.
අනතුරුව විත්තිකරු වරද පිළිගැනීමට ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ඊළඟ නඩු දිනයේ දැනුම් දෙන ලෙස නියම කළේය. නඩුව ලබන 23දා යළි කැඳවේ.
කොම්පඤ්ඤවීදියේ පදිංචි නූර්ඩීන් මොහොමඩ් තාජුඩීන් නමැති අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දණ්ඩ නීති සංග්රහයේ 291 (ආ) වගන්තිය යටතේ මෙම නඩුව ගොනු කර ඇත.
විත්තිය වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න, නීතිඥ සංජය මාරඹේ යන මහත්වරු පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ෂිරාස් මොහිදින් මහතාගේ උපදෙස් මත නීතිඥ ෂිරාස් තවුෆික් මහතා පෙනී සිටියේය.