බ්රසීලයේ පැවැති තීරණාත්මක ජනාධිපතිවරණ දෙවන වටයේ (Runoff) ඡන්ද ප්රතිඵලවලට අනුව, වත්මන් වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) නැවතත් ජනාධිපති ධුරයට තේරී පත්වී තිබේ.
ඡන්ද 96%කට වඩා ගණන් කර අවසන් වන විට ලූලා ද සිල්වා මහතා ඡන්ද 51%කට වඩා ලබා ගනිමින් ජයග්රහණය තහවුරු කරගත් අතර, ඔහුගේ ප්රතිපක්ෂ අභියෝගකාරයා වූ සෙනෙට් සභික ෆ්ලාවියෝ බෝල්සනාරෝට (Flávio Bolsonaro) හිමිවූයේ 48%ක ඡන්ද ප්රතිශතයකි.
මෙම ජයග්රහණයත් සමඟ ලූලා ද සිල්වා මහතා බ්රසීල ඉතිහාසයේ සිව්වන වරටත් ජනාධිපති ධුරයට තේරී පත් වූ නායකයා බවට පත්වෙයි.
ආන්දෝලනාත්මක ඡන්ද විමසීම
ඡන්දය පැවැති දිනය දැඩි උණුසුම්කාරී මෙන්ම අවුල් සහගත තත්ත්වයකින් යුක්ත විය. ඇතැම් ප්රදේශවල ප්රවාහන පහසුකම් සීමා කිරීම හේතුවෙන් ඡන්දදායකයින්ට ඡන්ද මධ්යස්ථාන වෙත පැමිණීමට බාධා මතුවූ බව පවසමින් ලූලාගේ පාර්ශ්වය ඡන්දය ප්රකාශ කිරීමේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම පවතින අධික වර්ෂාව හේතුවෙන් කාලය දීර්ඝ කරන ලෙස බෝල්සනාරෝගේ පාර්ශ්වයද ඉල්ලීමක් කළේය.
ඒ අනුව ඡන්දය ප්රකාශ කිරීමේ කාලය සවස 5.00න් පසු තවත් පැය දෙකකින් දීර්ඝ කිරීමට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ක්රිස්ටියානෝ ශානින් (Cristiano Zanin) නියෝග කළද, ඇතැම් ඡන්ද මධ්යස්ථානවල ඒ වන විටත් විද්යුත් ඡන්ද යන්ත්ර ක්රියා විරහිත කර තිබීම නිසා ජනතාවට ඡන්දය ප්රකාශ කිරීමට නොහැකි වූ බව වාර්තා වේ.
පවුල් දේශපාලනය සහ පසුබිම
45 හැවිරිදි ෆ්ලාවියෝ බෝල්සනාරෝ යනු 2022 ජනාධිපතිවරණයෙන් ලූලා හමුවේ පරාජයට පත්ව, බලය අත්පත් කර ගැනීමට කුමන්ත්රණය කිරීමේ වරදට වසර 27ක සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ජනාධිපති ජායර් බෝල්සනාරෝගේ (Jair Bolsonaro) පුත්රයාය. තමන් බලයට පත්වුවහොත් සිය පියාට ජනාධිපති සමාව ලබා දෙන බවට ෆ්ලාවියෝ ප්රතිඥා දී තිබිණි.
ඔක්තෝබර් 4 වැනිදා පැවැති පළමු වටයේ ඡන්ද විමසීමේදී ෆ්ලාවියෝ බෝල්සනාරෝ ඉදිරියෙන් සිටි අතර, ඒ සමඟම දෙපාර්ශ්වයේම ආධාරකරුවන් දැඩි ලෙස ප්රචාරණ කටයුතුවල නිරත විය. කෙසේ වෙතත්, අවසානයේදී ලූලා ද සිල්වා මහතාගේ සමාජ සුබසාධන ප්රතිපත්ති සහ ස්ථාවර භාවය පිළිබඳ පොරොන්දු කෙරෙහි ජනතා විශ්වාසය හිමි විය.
බෙදී ගිය රටක් හමුවේ නව ධුර කාලය
දැඩි ලෙස දේශපාලනිකව බෙදී වෙන්වී ඇති බ්රසීලය පාලනය කිරීම ලූලා හමුවේ ඇති ප්රධාන අභියෝගයකි. දේශපාලන විද්යාඥයින් පෙන්වා දෙන්නේ වත්මන් බ්රසීලියානු සමාජය තුළ ප්රතිපත්තිවලට වඩා දේශපාලන කඳවුරුවලට ඇති පක්ෂපාතීත්වය දැඩි ලෙස මුල් බැසගෙන ඇති බවයි.
ඇමසන් වනාන්තරයේ අනාගතය, දකුණු ඇමරිකානු කලාපයේ දකුණට බර දේශපාලන රැල්ල සහ බ්රසීලයේ ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම යන කරුණු හේතුවෙන් මෙම මැතිවරණය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු වී තිබිණි.