ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මිලින්ද රාජපක්ෂ මහතා හමුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන ඉවත් කිරීමට බ්‍රිස්බේන් නගර සභික ග්‍රෙග් ඇඩර්මන් (Cr Greg Adermann) මහතා තීරණය කිරීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් මිලින්ද රාජපක්ෂ මහතා ඔහු වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ සිංහල පරිවර්තනය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ සටහන ඉවත් කිරීමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වයන් සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ආණ්ඩුවට සහාය දක්වන පිරිස් විසින් සිදු කළ විවේචන බවයි.
බ්‍රිස්බේන් නගර සභාවේ Pullenvale Ward නියෝජනය කරන ග්‍රෙග් ඇඩර්මන් මහතා තමන් හමුවීමේදී ශ්‍රී ලාංකික තේවලින් සංග්‍රහ කිරීම, පැයකට ආසන්න කාලයක් දේශපාලනය සහ ක්‍රිකට් ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම මෙන්ම නාගරික පරිපාලනය සම්බන්ධයෙන් තමන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මිලින්ද රාජපක්ෂ මහතා සිය ලිපියෙන් ස්තුතිය පළ කර ඇත. එමෙන්ම, තමන් සමඟ පළ කළ ඡායාරූපය සම්බන්ධයෙන් ඇඩර්මන් මහතාගේ නිල ෆේස්බුක් පිටුවට එල්ල වූ බව කියන සයිබර් ප්‍රහාරය පිළිබඳව කනගාටුව පළ කරන බවත්, අසභ්‍ය ප්‍රතිචාර, අපහාසාත්මක ඡායාරූප සහ තර්ජනාත්මක ඊමේල් යොමු කිරීම සාමාන්‍ය ශ්‍රී ලාංකික ප්‍රජාවේ හැසිරීමක් නොවන බවත් ඔහු පවසා තිබේ.
එම ක්‍රියාවන් වත්මන් ආණ්ඩුවේ මර්ධනකාරී සන්නිවේදන උපක්රමවල කොටසක් බවට චෝදනා කර ඇති මිලින්ද රාජපක්ෂ මහතා, ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරන පුද්ගලයන්ට තර්ජන, බියවැද්දීම්, නඩු සහ පළිගැනීම්වලට මුහුණ දීමට සිදුවන බවද සඳහන් කර ඇත. වත්මන් ආණ්ඩුව විසින් සමාජයේ විවිධ සංවිධාන, ආයතන සහ කණ්ඩායම් දේශපාලන පදනමින් බෙදා වෙන් කර ඇති බවට ද ඔහු සිය සටහන හරහා චෝදනා කර තිබේ.
සාමාන්‍ය ගොවි පවුලකින් පැමිණ, මෙරට නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා, විදේශ අධ්‍යාපනය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය ඇතුළු අත්දැකීම් ලබා ඇති තරුණ දේශපාලනඥයෙකු වන තමන්, විදේශ සංචාරවලදී විදේශ ලේඛකයන්, දේශපාලනඥයන්, සිවිල් ක්‍රියාකාරීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවීමට උත්සාහ කරන බව මිලින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. එවැනි විපක්ෂයේ තරුණ දේශපාලනඥයෙකුට පහර දීම සඳහා ආණ්ඩුව සිය ධනය හා බලය යොදවන බවටත්, එම ක්‍රියාවන් තුළින් ලෝකය ඉදිරියේ තමන්ව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන බවටත් ඔහු චෝදනා කර තිබේ.
සැබෑ ශ්‍රී ලාංකික ප්‍රජාව යනු එම සමාජ මාධ්‍ය පළ කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක සහ අපහාසාත්මක ප්‍රතිචාර පළ කළ පිරිස් නොව, ආචාරශීලීත්වය, වැඩිහිටියන්ට ගෞරව කිරීම, අන්‍යයන්ට උපකාර කිරීම සහ බුදුදහමින් පෝෂණය වූ සිරිත් විරිත් අගය කරන ජනතාව බව ද ඔහු පෙන්වා දී ඇත. අවස්ථා දෙකකදී සන්නද්ධව බලය ලබා ගැනීමට උත්සාහ කළ පක්ෂයක් වත්මන් ආණ්ඩුව බවට පත්වීමෙන් පසු, එම පක්ෂයේ ආධාරකරුවන් ලෙස හඳුන්වන පිරිස් මෙලෙස හැසිරෙන බවට ද මිලින්ද රාජපක්ෂ මහතා චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රිකට් තරගයක් නැරඹීම සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ග්‍රෙග් ඇඩර්මන් මහතාට ආරාධනා කර ඇති ඔහු, මීගමුවේ ක්‍රැබ් කරියක් පිළියෙළ කිරීම ඉගෙන ගැනීමටත්, ඩිල්මා තේ සිය මිතුරන්ට හඳුන්වා දීමටත් ඔහු උනන්දු වනු ඇතැයි සඳහන් කර තිබේ. එමෙන්ම, ප්රජාතන්ත්රවාදය අගය කරන ශ්‍රී ලාංකික සමාජයක් ඇඩර්මන් මහතාට ඉදිරියේදී හමුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද මිලින්ද රාජපක්ෂ මහතා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇත.