ශ්රී ලංකාවේ කාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්ර වෙත ජපන් ආයෝජන පුළුල් කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ JETRO ජ්යෙෂ්ඨ නායකත්වය අතර ටෝකියෝ නුවරදී සාකච්ඡා
ජපානයේ සිදු කරන ලද විශේෂ නිල සංචාරයක නිරත වන කර්මාන්ත අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ටෝකියෝ නුවරදී ජපාන බාහිර වෙළඳ සංවිධානයේ (JETRO) විධායක උප සභාපතිනි අකිකෝ ඔකුමුරා (Ms. Akiko Okumura) මහත්මිය සහ එම ආයතනයේ ජ්යෙෂ්ඨ නායකත්ව මණ්ඩලය සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය. මෙම සාකච්ඡාවේ ප්රධාන අවධානය යොමු වූයේ ශ්රී ලංකාවේ කාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්ර වෙත ජපන් සෘජු විදේශ ආයෝජන (FDI) තවදුරටත් වර්ධනය කර ගැනීම සහ පුළුල් කිරීමයි.
ශ්රී ලංකාවේ දිගුකාලීන සහ විශ්වාසවන්ත ආර්ථික හවුල්කරුවෙකු වන ජපානය, ගුණාත්මක ආයෝජන, උසස් තාක්ෂණය සහ කාර්මික විශේෂඥ දැනුම සඳහා ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති රටකි. අමාත්යවරයාගේ මෙම සංචාරයේ ප්රධාන අරමුණක් වන්නේ ශ්රී ලංකාවේ කාර්මික සංවර්ධන ගමන වේගවත් කිරීම සඳහා මෙම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.
මෙම සාකච්ඡාවලදී තවත් ජපන් ව්යාපාරික ප්රජාවන් සහ ආයෝජකයින් ශ්රී ලංකාවට ගෙන ඒම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, දේශීය කර්මාන්ත නගාසිටුවීම සඳහා ජපානයේ උසස් තාක්ෂණික දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම (Technology Transfer) මෙන්ම කර්මාන්ත ක්ෂේත්රයේ අගය එකතු කළ නිෂ්පාදන ක්රියාවලීන් පුළුල් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම, අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදන ක්ෂේත්රය තුළ නව රැකියා සහ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡා හුදෙක් සංවාදයකට පමණක් සීමා නොකර, ප්රායෝගික ආයෝජන අවස්ථා බවට පරිවර්තනය කරමින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව සහ මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට JETRO ආයතනය සමඟ සමීපව කටයුතු කරන බවට අමාත්යවරයා මෙහිදී ප්රකාශ කළේය. මෙම සාකච්ඡාව සඳහා ජපානයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය ජනක කුමාරසිංහ මහතා, කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ අතිරේක ලේකම් මහේෂ් අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.