රජයට පවරා ගත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නෙවිල් ප්‍රනාන්දු ගුවන් හමුදා අනුස්මරණ රෝහල ලෙස නිල වශයෙන් විවෘත කරයි

ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ ඍජු දාය­ක­ත්වය යටතේ නවී­ක­ර­ණය කරන ලද මාලබේ පිහිටි ‘වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනු­ස්ම­රණ ගුවන් හමුදා රෝහල’ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ඊයේ (09) නිල වශ­යෙන් විවෘත කෙරිණි.

ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් බන්දු එදි­රි­සිංහ මහ­තාගේ ආරා­ධ­න­ය­කට අනුව ඇමැ­ති­ව­රයා මේ අව­ස්ථා­වට එක් විය.

භාවි­ත­යට නොගන්නා සහ ඌන-උප­යෝ­ජිත රාජ්‍ය දේපළ ජනතා යහ­පත උදෙසා ප්‍රශස්ත ලෙස යොදා­ගැ­නීමේ රජයේ වැඩ­පි­ළි­වෙ­ළට මේ පිය­වර විශිෂ්ට ආද­ර්ශ­යක් බව ඇමැ­ති­ව­රයා එහිදී අව­ධා­ර­ණය කළේය.

ජනා­ධි­පති සහ ආර­ක්ෂක ඇමැති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැ­ති­ව­රයා විසින් ඉදි­රි­පත් කරන ලද ඒකා­බද්ධ කැබි­නට් යෝජ­නා­ව­කට අනු­මැ­තිය හිමි­වී­මෙන් පසු මේ නව වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක වේ. ඒ අනුව 2017 වසරේ සිදු වූ පවරා ගැනී­මෙන් පසු වසර අටක් තිස්සේ පැවැති තාව­කා­ලික පාලන ක්‍රමය වෙනු­වට, නව දෙමු­හුන් (Hybrid) මෙහෙ­යුම් රාමු­වක් යටතේ රෝහලේ අයි­තිය මහා භාණ්ඩා­ගා­ර­යට 100%ක් හිමි සමා­ග­මක් යට­තට පවරා, එහි දෛනික මෙහෙ­යුම් වග­කීම ශ්‍රී ලංකා ගුවන් හමු­දාව වෙත පවරා දී ඇත.

ගුවන් හමු­දාවේ විශේ­ෂ­ඥ­තාව, වෘත්තීය ප්‍රමි­තීන් සහ කාර්ය­ක්ෂම පරි­පා­ල­නය යොදා­ග­නි­මින් ගුවන් හමුදා සාමා­ජි­ක­යන්ට සහ ඔවුන්ගේ පවු­ල්වල සමී­ප­ත­ම­යන්ට මෙන්ම සමස්ත මහ­ජ­න­තා­ව­ටද උසස් සෞඛ්‍ය සේවා­වක් ලබා­දීම මින් අපේක්ෂා කෙරේ. මෙහි මෙහෙ­යුම් කට­යුතු ප්‍රධාන විධා­යක නිල­ධාරි එයාර් කොම­දෝරු නිලුකා අබේ­සේ­කර මහ­ත්මි­යගේ නව පරි­පා­ල­නය යටතේ ක්‍රියා­ත්මක වීමට නිය­මි­තය.

ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට සිය සාමා­ජි­ක­යන් වෙනු­වෙන් විශේ­ෂිත වූ රෝහ­ලක අව­ශ්‍ය­තා­වක් දිගු කලක පටන් පැවති අතර මේ නව පිය­වර හරහා ගුවන් හමු­දා­ව­ටම සුවි­ශේෂී වූ රෝහ­ලක් හිමි­වීම මෙහි ඇති ප්‍රමු­ඛ­තම ජය­ග්‍ර­හ­ණ­යක් බව ඇමැ­ති­ව­රයා මෙහිදී ප්‍රකාශ කළේය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මඟපෙන්වීම යටතේ ගත් මේ තීර­ණය හරහා, ලක්ෂ 50කට ආසන්න ජන­ග­හ­න­යක් වෙසෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රි­ක්ක­ව­ලට, විශේ­ෂ­යෙන් කඩු­වෙල, අතු­රු­ගි­රිය සහ අවි­ස්සා­වේල්ල යන ප්‍රදේ­ශ­වල ජන­තා­වට පව­තින තෘතී­යික මට්ටමේ සෞඛ්‍ය සේවා හිඟ­යට මේ රෝහල විස­ඳු­මක් වනු ඇති බවද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

සමරු ඵල­කය නිරා­ව­ර­ණය කර රෝහල නිල වශ­යෙන් විවෘත කිරී­මෙන් අන­තු­රුව, පැමිණ සිටි සම්භා­ව­නීය අමුත්තෝ රෝහල් පරි­ශ්‍රයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කද නිරත වූහ.

ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙන­රාල් (විශ්‍රා­මික) අරුණ ජය­සේ­කර, පාර්ලි­මේන්තු මන්ත්‍රී අසිත නිරෝ­ෂණ, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රා­මික) සම්පත් තුයි­ය­කොන්තා, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණ­ති­ලක, දිවං­ගත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහ­තාගේ බිරිය ස්වර්ණ­මාලි ප්‍රනාන්දු ,ගුවන් හමුදා මාණ්ඩ­ලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුම­න­වීර මහත්ම මහ­ත්මීන්ද හිටපු ගුවන් හමු­දා­ප­ති­ව­රුන්, අධ්‍යක්ෂ මණ්ඩල සාමා­ජි­ක­යන්, ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සහ රෝහල් කාර්ය මණ්ඩ­ලය ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Untitled 93 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *