හොඳ තීන්දුවක් දිමට හොඳ පළපුරුද්දක් තිබිය යුතුයි – අභියාචනාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න

හොඳ තීන්දුවක් දීමට නම් විනිසුරයකුගේ පලපුරුද්ද සහ ප‍්‍රායෝගික ඥානය අවශ්‍ය බව තමා තදින්ම විශ්වාස කරන බවත් අධිකරණය පිළිබඳ ජනතාවගේ විශ්වාසවන්තභාවය සුරැකීම සඳහා විනිසුරුවරයාගේ චරිතය ඔහුගේ අපක්ෂපාතීත්වය මෙන්ම ඥානයද බලපාන බවත් අභිනව අභියාචනාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සාම්ප‍්‍රදායික සිය පිළිගැනීමේ උත්සවය අමතමින් පැවසීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්,  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් ඇතුළු නීතීඥවරුන් ප‍්‍රමුඛ සම්භාවනීය පිරිසකගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාම්ප‍්‍රදායික පිළිගැනීමේ උත්සවය පැවැත්විණී.

සාම්ප‍්‍රදායික පිළිගැනීමේ උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් සියළු දෙනාට ස්තූතිය පුදකරමින් අභියාචනාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙසේද පැවසීය.

මම අභියාචනාධිකරන විනිසුරුධූරය බාරගනු ලබන්නේ නීතියේ ආධිපතය සහ එහි බරපතල වගකීම සිහියේ තබාගෙනයි. එපමණක් නොව නීතිය සහ ව්‍යවස්ථාව සුරැකීම වෙනුවෙන් ඇප කැපවෙන බවටද මා පොරොන්දු වෙමි.

අධිකරණ ක්ෂේත‍්‍රය තුළ මාගේ වසර 27ක සේවා කාලය තුළදී මහෙස්ත‍්‍රාත්වරයෙක් වශයෙන් ඇල්පිටිය” මොරවක” රත්නපුර” නාවුල” ගාල්ල ආදී ප‍්‍රදේශවල අධිකරණ වල සේවය කර අතර පසුව අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා වශයෙන් කලක් සේවය කළෙමි.

රටේ යුක්තිය පසඳලීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන සුක්නාම වන්නේ පහළ අධිකරණ බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.ජේ. වීරමන්ත‍්‍රී මහතා විශ‍්‍රාම ගැනීමේදී කළ ප‍්‍රකාශයක් මේ අවස්ථාවේදී මාගේ  මතකයට නැගෙනවා වීරමන්ත‍්‍රී විනිසුරුවරයා සඳහන් කළ ආකාරයෙන්ම මා තදින්ම විශ්වාස කරනු ලබන්නේත් හොඳ තීන්දුවක් දීමට විනිසුරයකුට අවස්ථාව ලැබෙන්නේ ඔහුගේ පලපුරුද්ද සහ ප‍්‍රායෝගික ඥානය මත බවයි. විනිසුරුවරයාගේ චරිතය අපක්ෂපාතීත්වය ඔහුගේ ඥානය අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසවන්තභාවය සුරැකීමට බලපාන බව මා තදින්ම විශ්වාස කරනවා.

මෙම තනතුර මාවෙත ප‍්‍රධානය කළ අගවිනිසුරු ප‍්‍රීතී පත්මන් සුරසේන මහතාට මගේ ස්තුතිය ප‍්‍රදානය කරන අතරම මාගේ නීතිඥ වෘත්තිය ආරම්භක අවස්ථාවේදී මට මහත් පිටුවහලක් වූ ජනාධිපති නීතිඥ ආර්.අයි. ඔබේසේකර මහතා සහ ජනාධිපති නීතිඥ සී.ආර්. ද සිල්වා මහතා සිහිකරන අතර මාගේ බිරිඳ ඇතුළු පවු‍ලේ සියලූ‍ දෙනාට ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *