දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා රජයේ මූල්‍ය ප්‍රදාන මත ක්‍රියාත්මක නව නිවාස ව්‍යාපෘති සඳහා ජලය, විදුලිය හා මාර්ග පහසුකම් ලබාදීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
නිවාස අහිමි වූ පවුල්වල පදිංචිය සඳහා ඉඩම් සොයා ගැනීමෙන් පසු ඒවාහි නිවාස ඉදිකිරීමේ කටයුතු අවසන් කර ජනතාව පදිංචි කරවීමට පෙර පොදු පහසුකම් සියල්ල අදාළ ගම්මානවලට ලබා දීමට සැලසුම් කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩත්තව තේක්කවත්තේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ ඉඩමක් දිට්වා හේතුවෙන් නිවාස අහිමිවූ පවුල් සඳහා නිවාස ඉදිකර දීමට ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීම මත ලබා ගැනීමෙන් පසු එහි මේ වනවිට නිවාස 123ක් ඉදිවෙමින් පවතින අතර ඒවාහි වැඩකටයුතු නිරීක්ෂණයට ගිය අවස්ථාවේ දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේය.
ප්‍රජා ජල දෙපාර්තමේන්තුව මඟින් මෙම නිවාස සඳහා ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර ප්‍රජා ශාලා ඇතුළු සෙසු පහසුකම් ද ජනතාව සඳහා ලබා දීමට සැලසුම් කර තිබේ.
ඉඩම සොයා ගැනීමෙන් පසු නිවාස ඉදිකිරීමේ කටයුතු මාස තුනකට පමණ පෙර ආරම්භ කළ බවත් මේ වනවිට ඇතැම් නිවාසවල ඉදිකිරීම් අවසන්ව තිබෙන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.