ඇත්තටම මා අසුනෙන් නැගිට්ටේ ඇගේ දිරියට කැප කිරිමට ගෞරව කරන්නයි – රුහුණු සරසවි උපකුලපති අකුරටියේ නන්ද හිමි කියයි

උපාධි ප්‍රදානෝත්සවයේදී විශේෂ අවශ්‍යතා සහිත උපාධිධාරිනියක වෙනුවෙන් තමන් වහන්සේ අසුනින් නැඟිට ගෞරව දැක්වීමට හේතු වූ කරුණ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අකුරටියේ නන්ද හිමියන් විසින් පැහැදිලි කර තිබේ.

​තමන් වහන්සේ අසුනින් නැඟී සිටියේ ඇය තුළ තිබූ අප්‍රතිහත දිරියට සහ කැපකිරීමට ගෞරව දැක්වීම සඳහා බව උන්වහන්සේ සඳහන් කර ඇත. උපාධිය ලබා ගැනීම සඳහා වේදිකාවට පිවිසීමට ඇයට සහාය වීම සඳහා දෙදෙනෙකු සිටියද, “මම තනියමයි උපාධිය ගන්න යන්නේ, ඔයාලා එන්න එපා” යනුවෙන් පවසමින් ඇය තනිවම ඒ සඳහා ඉදිරිපත් වූ බව උන්වහන්සේ පෙන්වා දී තිබේ.

​ඇයට අතින් ලිවීමට අපහසු බවත්, ඇයගේ කටහඬ පැහැදිලි නොමැති බැවින් එය සෑම දෙනාටම පහසුවෙන් වටහා ගත නොහැකි බවත් සඳහන් කරන උපකුලපති හිමියන්, ඒ හේතුවෙන් ඇය ලබා දෙන වාචික පිළිතුරු වෙනත් අයෙකු ලවා ප්‍රශ්න පත්‍රවල ලිවීමට රුහුණු විශ්වවිද්‍යාලය අවසර ලබා දුන් බව ප්‍රකාශ කළහ.

​ඇය සිය උපාධිය සම්පූර්ණ කළේ එවැනි අභියෝග මධ්‍යයේ බව පෙන්වා දෙන මහාචාර්ය අකුරටියේ නන්ද හිමියන්, ඒ අතින් රුහුණු විශ්වවිද්‍යාලය මනුෂ්‍යත්වය පිළිබඳව ලබා දුන් ආදර්ශය ඉතා ඉහළ බවත්, මුළු විශ්වවිද්‍යාලයම එකම පවුලක් ලෙස ඇයට උදව් කරමින් කරුණාව දැක්වූ බවත් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *