ලංකාව තුළ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා හෙවත් ‘පියාඹන ටැක්සි’ (Flying Taxis) වාණිජ මට්ටමින් ක්‍රියාත්මක කිරීම ඉදිරි මාස දෙකත් තුනත් අතර කාලය තුළ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
නොවැම්බර් 11 වනදා පැවැත්වීමට නියමිත මූලික නියමු පරීක්ෂණ පියාසැරිය සාර්ථක වීමෙන් අනතුරුව මෙම සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
කොළඹ පෝට් සිටි (Colombo Port City) පරිශ්‍රයේදී දැනටමත් මෙහි මූලික නියමු පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබේ.
චීනයේ ප්රමුඛ පෙළේ ගුවන් තාක්ෂණික සමාගමක් වන EHang ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා රජය විසින් ඊට අදාළ ප්‍රතිපත්තිමය සහාය, යටිතල පහසුකම් සහ නියාමන අනුමැතීන් ලබා දෙයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,
“නොවැම්බර් 11 වනදා පළමු පරීක්ෂණ පියාසැරි මෙහෙයුම් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය සාර්ථක වුවහොත් ඉදිරි මාස 2-3 ඇතුළත වාණිජ මට්ටමින් මෙම සේවාව ආරම්භ කිරීමට හැකි වේවි.”
ආරම්භක පියවරේදී මෙම මගී ඩ්‍රෝන යානා ප්‍රධාන වශයෙන් සංචාරක ක්ෂේත්රය උදෙසා භාවිත කිරීමට නියමිත අතර, දෙස් විදෙස් සංචාරකයින්ට කොළඹ නගරය සහ ඒ අවට ගුවන් දසුන් නැරඹීමේ පහසුකම් මේ හරහා හිමිවේ. මෙම මූලික මෙහෙයුම් සාර්ථක වුවහොත් සිගිරිය සහ යාපනය වැනි දිවයිනේ අනෙකුත් ප්‍රධාන සංචාරක කලාප වෙතද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට රජය අරමුණු කරයි