ගෝලීය අභියෝග මැද පවා ශ්රී ලංකාවේ මූල්ය පද්ධතිය ස්ථායි වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ විශේෂ මූල්ය ස්ථායිතා විවරණයක් ඉදිරිපත් කරමින් සඳහන් කරයි.
මේ වසරේ (2026) පළමු භාගයේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ බැංකු පද්ධතියේ ශක්තිමත්භාවය තහවුරු වී ඇතැයිද එහි සඳහන් වේ. වාහන ලීසිං සහ රන් ඇප ණය සඳහා මහ බැංකුවෙන් දැඩි සීමා මාලාවක් ද හඳුන්වා දී ඇත. මැදපෙරදිග අර්බුදය සහ ගෝලීය බලශක්ති මිල ඉහළ යෑම හමුවේ විදේශ විනිමය වෙළෙඳපොළට පීඩනයක් ඇති වී තිබේ.
ගෝලීය වශයෙන් මතුවූ විවිධ ආර්ථික හා භූ-දේශපාලනික කම්පන හමුවේ වුවද, 2026 වසරේ පළමු භාගය තුළ ශ්රී ලංකාවේ මූල්ය පද්ධතිය ස්ථායි මට්ටමක පැවැති බව ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරයි. 2023 අංක 16 දරන ශ්රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වගන්තිය ප්රකාරව නිකුත් කරන ලද 2026 වසර සඳහා වන වාර්ෂික මූල්ය ස්ථායිතා විවරණය (Financial Stability Review) මඟින් මේ බව අනාවරණය කර ඇත. සලකා බලන ලද කාලසීමාව තුළ දේශීය ආර්ථික ක්රියාකාරකම් අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම, රාජ්ය මූල්ය තත්ත්වයන් වැඩිදියුණු වීම සහ බැංකු හා මුදල් සමාගම්වල ප්රාග්ධන හා ද්රවශීලතා ස්වාරක්ෂක ප්රමාණවත් ලෙස පැවැතීම මූල්ය පද්ධතියේ ස්ථායිතාවට සෘජුවම උපකාරි වී ඇතැයි මහ බැංකුව පවසයි. එසේම, රාජ්ය අංශය වෙත මූල්ය අංශයේ තිබූ නිරාවරණය යම් ප්රමාණයකින් පහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, මැදපෙරදිග උද්ගත වූ භූ-දේශපාලනික ආතතීන්, ගෝලීය උද්ධමන පීඩනය, බලශක්ති හා වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ දැඩි ගෝලීය මූල්ය තත්ත්වයන් හේතුවෙන් දේශීය ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වීමේ අවදානමක් පැවැති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය හමුවේ ආනයන වියදම් හා බලශක්ති මිල ඉහළ යෑම නිසා විදේශ විනිමය සඳහා වූ ඉල්ලුම වැඩි වී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අවප්රමාණය වීමේ පීඩනයකට මුහුණ දුන්නේය.
එසේ වුවද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ, සංචාරක ඉපැයීම්, අපනයන ආදායම් සහ මහ බැංකුව විදේශ විනිමය ශුද්ධ වශයෙන් මිලදී ගැනීම මඟින් විදේශ විනිමය වෙළෙඳපොළ පීඩනය පාලනය කර ගැනීමට හැකි විය.
පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යෑමත් සමඟ, විශේෂයෙන්ම වාහන මූල්යකරණය (ලීසිං) සහ රන් ඇපකර මත ලබා දෙන ණය ශීඝ්රයෙන් වර්ධනය වී තිබේ. මෙමඟින් පද්ධතිමය අවදානමක් ගොඩනැඟීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් 2026 මැයි මාසයේදී එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට කටයුතු කළේය.
ඊට අමතරව, මෝටර් රථ මූල්යකරණය සඳහා වන උපරිම ණය අනුපාතිකය (LTV) දැඩි කිරීමටත්, රන් ඇපකර මත ලබාදෙන ණය සඳහා උපරිම සීමාවන් සහ අවදානම් බර තැබීම් (Risk Weights) හඳුන්වා දීමටත් පියවර ගන්නා ලදි.
එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුද්ගලයන්ට සහ ව්යාපාරවලට සහන සැලසීම සඳහා ද මහ බැංකුව විසින් මූල්ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
වාර්තාවට අනුව බැංකු අංශයේ සමස්ත ණය වර්ධනය 2026 දෙවැනි කාර්තුව වන විට සියයට 23.6ක් දක්වා ඉහළ ගොස් ඇත. අක්රිය ණය (Stage 3) අනුපාතය 2025 දෙවැනි කාර්තුවේ පැවැති සියයට 11.9 සිට 2026 දෙවැනි කාර්තුවේදී සියයට 9.1 දක්වා පහළ බැස තිබීම විශේෂත්වයකි.
එසේම, ඩිජිටල් ගෙවීම් පද්ධති විස්තාරණය වීමත් සමඟ මූල්ය අන්තර්ගතභාවය ඉහළ ගියද, සයිබර් තර්ජන සහ මූල්ය වංචා ඉහළ යෑම හමුවේ ඩිජිටල් ගෙවීම්වල ආරක්ෂාව තහවුරු කිරීමටත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML/CFT) රාමුව ශක්තිමත් කිරීමටත් පියවර ගෙන ඇත.
ඉදිරියේදීත් භූ-දේශපාලනික අස්ථාවරත්වයන් සහ ගෝලීය වෙළෙඳපොළ අවිනිශ්චිතතාවන් පැවැතීමට ඉඩ ඇති බැවින්, දේශීය මූල්ය ස්ථායිතාව සුරක්ෂිත කරගැනීම උදෙසා අඛණ්ඩ සුපරික්ෂාකාරිත්වය, ශක්තිමත් ප්රාග්ධන ස්වාරක්ෂක පවත්වාගැනීම සහ විචක්ෂණශීලී ප්රතිපත්තිමය මැදිහත්වීම් අත්යවශ්ය වන බව ශ්රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.