මට වධ හිංසා කළ අයට මාව අමතක වෙලා ඇති, නමුත් මට ඔවුන්ව අමතක වෙලා නැහැ – පෝද්දල ජයන්ත ගෝඨාභයට කියයි

තමන්ව නොහඳුනන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂියට, විදේශගතව ජීවත් වන ශ්‍රී ලාංකික මාධ්‍යවේදී පෝද්දල ජයන්ත දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ දීර්ඝ සටහනක් තබමින් පෝද්දල ජයන්ත සිහිපත් කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ තමන්ට ඔහුව මුණගැසුණු අවස්ථාවක් පිළිබඳවයි. මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව පැවැත්වූ විරෝධතා හේතුවෙන් තමන් සහ සෙසු මාධ්‍යවේදී සනත් බාලසූරිය ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා තර්ජනය කළ බව ඔහු එහිදී චෝදනා කරයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට එරෙහිව පැවැත්වූ විරෝධතාවයකින් අනතුරුව මෙම හමුව සිදු වූ බව ජයන්ත පවසයි. එවකට ලේක්හවුස් සභාපතිවරයා ලෙස කටයුතු කළ බන්දුල පද්මකුමාර සහ ලක්ෂ්මන් හුළුගල්ල යන මහත්වරුන් ද ඉදිරියේ, දිගටම විරෝධතා සංවිධානය කළහොත් එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට රාජපක්ෂ මහතා තමන්ට අනතුරු ඇඟවූ බව ඔහු සඳහන් කරයි.

එම තර්ජන කිරීම් සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමට තමන් උත්සාහ කළ නමුත්, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු සිහිපත් කර තිබේ.

ඉන් මාස කිහිපයකට පසු පෝද්දල ජයන්ත සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමට ලක් වූ අතර, එහිදී ඔහුගේ වම් පාදයට බරපතල තුවාල සිදු විය. තමන් දින 28ක් රෝහල්ගතව සිටි බවත්, මාස හයක් ඇඳටම වී සිටි බවත් පවසන ඔහු, අදටත් අර්ධ ආබාධිත තත්ත්වයෙන් ජීවත් වන බව සඳහන් කරයි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් සහ කුගන් අතුරුදහන් වීමේ නඩුවට අදාළව සාක්ෂි දෙමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට ප්‍රකාශ කර තිබුණේ තමන් බන්දුල පද්මකුමාර හඳුනන නමුත් පෝද්දල ජයන්තව නොහඳුනන බවයි.

ඊට පිළිතුරු ලෙස පෝද්දල ජයන්ත තම සටහන අවසන් කර ඇත්තේ, “මට වධ හිංසා කළ අයට මාව අමතක වෙලා ඇති, නමුත් මට මට වධ හිංසා කළ අයව අමතක වෙලා නැහැ” යනුවෙන් සඳහන් කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *